අප්‍රේල් 10 සිට 19 දක්වා වූ උත්සව කාලසීමාව තුළ මෙරට රිය අනතුරුවල කැපී පෙනෙන ඉහළ යාමක් සිදුව ඇති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා පවසයි. අද (20) පැවැති මාධ්‍ය හමුවකදී දත්ත වාර්තා ඉදිරිපත් කරමින් ඔහු පෙන්වා දුන්නේ, පසුගිය වසරට සාපේක්ෂව මෙවර මාරක රිය අනතුරු 18 කින් වැඩි වී ඇති අතර, ඒ හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 20 කින් ඉහළ ගොස් ඇති බවයි. මාර්ග ආරක්ෂාව පිළිබඳව පොලිසිය සහ මාධ්‍ය මගින් කොතරම් දැනුවත් කිරීම් සිදු කළද, මෙලෙස අනතුරු වාර්තා වීම ඉහළ මට්ටමක පවතින බව ඔහු අවධාරණය කළේය.සංඛ්‍යාලේඛනවලට අනුව මාරක අනතුරුවලට අමතරව බරපතළ අනතුරු 94 ක්, සුළු අනතුරු 49 ක් සහ දේපළ හානි සිදු වූ අනතුරු 48 ක වැඩි වීමක් මෙවර වාර්තා වී තිබේ. දැනුවත් කිරීම් සහ ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ වුවද රියදුරන්ගේ නොසැලකිලිමත්භාවය හේතුවෙන් මෙවැනි කණගාටුදායක තත්ත්වයක් උදාවී ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙහිදී සඳහන් කළේය. ඉදිරියේදී මෙවැනි විපත් වළක්වා ගැනීම සඳහා රියදුරන් මෙන්ම පදිකයන්ද වඩාත් විමසිලිමත්ව මාර්ග නීති අනුගමනය කරමින් සහාය දැක්විය යුතු බව පොලිසිය වැඩිදුරටත් ඉල්ලා සිටියි.

























