මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් යුද වාතාවරණය හේතුවෙන් ආසියා-පැසිෆික් කලාපයේ වැඩිම ආර්ථික බලපෑමකට ලක්වන රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුනාගෙන ඇති බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) පවසයි. අප්‍රේල් 16 වනදා නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, මෙම අර්බුදය හේතුවෙන් මෙරට තේ අපනයන ක්ෂේත්‍රයට සතියකට ඇමෙරිකානු ඩොලර් මිලියන 10ත් 15ත් අතර අතිවිශාල අලාභයක් සිදුවෙමින් පවතී. මීට අමතරව, සංචාරක කර්මාන්තය ද දැඩි පසුබෑමකට ලක්ව ඇති අතර, 2026 මාර්තු මස මුල් සතිය වන විට සංචාරකයන්ගේ පැමිණීම සියයට 40කින් පමණ පහත වැටී ඇති බව එම වාර්තාවේ සඳහන් වේ.විදේශ විනිමය උපයන ප්‍රධාන මාර්ගයක් වන මැදපෙරදිග ශ්‍රමික ප්‍රේෂණ ද මෙම තත්ත්වය හමුවේ දැඩි අවදානමකට ලක්ව ඇත්තේ, 2025 වසරේ විදේශගත වූවන්ගෙන් සියයට 80කට අධික පිරිසක් එම කලාපයේ සේවය කරන බැවිනි. ඉන්ධන, ආහාර සහ ප්‍රවාහන පිරිවැය ඉහළ යාම හේතුවෙන් සමස්ත කලාපය පුරා මිලියන 8.8ක ජනතාවක් අලුතින් දරිද්‍රතාවයට ඇද වැටීමේ අවදානමක් පවතින බව UNDP පෙන්වා දෙයි. විශේෂයෙන්ම ආනයන භාණ්ඩ මත බෙහෙවින් යැපෙන ශ්‍රී ලංකාව වැනි රටවලට, මැදපෙරදිග අර්බුදය හමුවේ ඉදිරියේදී වඩාත් දරුණු ආර්ථික අභියෝගයන්ට මුහුණ දීමට සිදුවනු ඇති බව එමඟින් අවධාරණය කර ඇත.
























