රජය සතු ඌණ උපයෝජිත ඉඩම් වඩාත් ඵලදායී ලෙස ආර්ථික ක්‍රියාවලියට දායක කරගැනීමේ අරමුණින්, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය මඟින් එහි දෙවන අදියර නිල වශයෙන් ආරම්භ කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්තියකට අනුව, අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ මඟපෙන්වීම යටතේ මෙම වැඩසටහනය ක්‍රියාත්මකය. මේ යටතේ ජනතා වතු සංවර්ධන මණ්ඩලය (JEDB), ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව (SLSPC) සහ ඇල්කඩුව වැවිලි සමාගම (EPL) සතු වතු ඉඩම්, තේ කර්මාන්තශාලා සහ බංගලා ප්‍රශස්ත ලෙස සංවර්ධනය කිරීම සඳහා සුදුසුකම් ලත් දේශීය හා විදේශීය ආයෝජකයින්ගෙන් දැනටමත් අභිලාෂ ප්‍රකාශ කිරීම් (EOI) කැඳවා ඇත.මහනුවර, මාතලේ, නුවරඑළිය, බදුල්ල, මොනරාගල, කෑගල්ල සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල පිහිටි මෙම දේපළ, ආයෝජන අවස්ථා අනුව ප්‍රධාන කාණ්ඩ 5ක් යටතේ වර්ග කර තිබේ. ඒ අනුව හෙක්ටයාර 100ට වැඩි සහ හෙක්ටයාර 50-100 දක්වා වන (හගල, මිඩ්ලන්ඩ්, ගල්පිහිල්ල, කොටගඟ වැනි) ඉඩම් කෘෂි සංචාරක හා කුළුබඩු වගාවන් සඳහා වසර 30ක උපරිම බදු කාලයකට යටත්ව ලබාදීමට නියමිතය. මීට අමතරව හෙක්ටයාර 20-50ත්, හෙක්ටයාර 20ට අඩුත් වන ඉඩම් කොටස් සූර්ය පැනල බලශක්ති සහ කෘෂිකාර්මික ව්‍යාපෘති සඳහා වසර 20-30ත් අතර කාලයකට වෙන් කර ඇති අතර, දැනට පවතින තේ කර්මාන්තශාලා සහ බංගලා ද සංචාරක හෝ නිෂ්පාදන කටයුතු වෙනුවෙන් බදු දීමට සූදානම් කර ඇත.මෙම ආයෝජන අවස්ථා සඳහා ශ්‍රී ලාංකික පුරවැසියන්ට මෙන්ම මෙරට නීත්‍යානුකූලව ලියාපදිංචි සමාගම් හෝ ආයතනවලට අයදුම් කිරීමේ හැකියාව පවතී. අදාළ අයදුම්පත් 2026 ජූනි මස 30 වන දින පෙ.ව. 11.00ට පෙර ලැබෙන සේ ‘සභාපති, ඉහළ ප්‍රසම්පාදන කමිටුව, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය, 8 වැනි මහල, A පර්යන්තය, සෙත්සිරිපාය II වන අදියර, බත්තරමුල්ල’ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ ගෙනත් භාරදිය යුතුය. නියමිත වේලාවට පසුව ලැබෙන අයදුම්පත් ප්‍රතික්ෂේප වන අතර, මෙම ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමේදී පරිසරයට හානි වන කිසිදු බාහිර මැදිහත්වීමකට ඉඩ නොදෙන බව ද අමාත්‍යාංශය අවධාරණය කරයි.මේ පිළිබඳ සවිස්තරාත්මක ඉඩම් ලැයිස්තුව, සුදුසුකම් සහ අනෙකුත් නිර්ණායක පිළිබඳ තොරතුරු www.plantation.gov.lk යන අමාත්‍යාංශ නිල වෙබ් අඩවියෙන් ලබාගත හැක. මීට අමතරව, වැඩිදුර විස්තර අවශ්‍ය වන්නේ නම් 0112186223 යන දුරකථන අංකය ඇමතීමෙන් හෝ [email protected] යන විද්‍යුත් තැපෑල ඔස්සේ සම්බන්ධ වීමෙන් තොරතුරු ලබාගත හැකිය.



























