2013 වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා එයාර්බස් යානා 14ක් මිලදී ගැනීමේදී සිදුවූ බව කියන අල්ලස් දූෂණ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු අමාත්‍ය පියංකර ජයරත්න යන මහත්වරුන්ට ලබන මැයි මස 12 වනදා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ. මෙම ප්‍රශ්නගත ගනුදෙනුව හරහා ඇමෙරිකානු ඩොලර් මිලියන දෙකක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමේ සිද්ධියකට අදාළව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳට එරෙහිව දැනටමත් විමර්ශන ක්‍රියාත්මක වේ.මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කපිල චන්ද්‍රසේන මහතාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවූ කරුණු මත පදනම්ව මෙම කැඳවීම සිදුකර ඇත. අදාළ එයාර්බස් ගනුදෙනුවෙන් ලැබුණු අල්ලස් මුදල් හිටපු ජනාධිපතිවරයාට සහ හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයාට ලබාදුන් බවට කොමිසම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.විශේෂයෙන්ම, 2015 වසරේදී හිටපු ජනාධිපතිවරයා කළ ඉල්ලීමකට අනුව අවස්ථා තුනකදී රුපියල් මිලියන 60ක මුදලක් බෙලිඅත්ත සහ කාල්ටන් නිවෙස්වලදී ඔහු වෙත ලබාදුන් බවට සැකකරු පාපොච්චාරණය කර ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට දන්වා ඇත. ඒ අනුව අල්ලස් පනත සහ නව දූෂණ විරෝධී පනත යටතේ සිදුකරන විමර්ශනවල ඉදිරි පියවරක් ලෙස මෙම ප්‍රකාශ සටහන් කර ගැනීම සිදුකිරීමට නියමිතය.

























