ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීම හේතුවෙන් ආනයනික සහ දේශීයව නිෂ්පාදනය කරනු ලබන ඖෂධවල මිල ගණන් ඉහළ නැංවීමට රජයේ අවධානය යොමුව තිබේ. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළේ ඖෂධ මිල සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය මූලික සැලසුම් මේ වන විට සකස් කරමින් පවතින බවයි. මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් වැඩි ප්‍රමාණයක් විදේශයන්ගෙන් ආනයනය කරන බැවින්, පවතින ආර්ථික වටපිටාව තුළ ඖෂධ සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා මෙම පියවර ගැනීමට සිදුව ඇති බව බලධාරීන් පෙන්වා දෙයි.මෙම මිල සංශෝධනය යටතේ දැනට ගැසට් නිවේදනයක් මඟින් උපරිම සිල්ලර මිලක් පනවා ඇති අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 60ක මිල ගණන් ද ඉහළ දැමීමට නියමිතව ඇත. පවතින වෙළඳපොළ තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ඖෂධ මිල පාලනය සාධාරණ මට්ටමක පවත්වා ගැනීම සඳහා වන විශේෂ අධ්‍යයන කටයුතු මේ වන විටත් ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය අංශ නිවේදනය කරයි.



























