අඹතලේ සිට කඩුවෙල දක්වා ජලය රැගෙන යනු ලබන ප්‍රධාන සම්ප්‍රේෂණ නළ පද්ධතියක ඇති වූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ජල සැපයුම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. මෙම හදිසි තත්ත්වය මත අද (10) පස්වරු 1.00 දක්වා කාලය තුළ කඩුවෙල, කොතලාවල, වැලිවිට සහ හේවාගම යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවා ඇත. මීට අමතරව කොරතොට, බෝමිරිය, නවගමුව, රණාල මෙන්ම කහන්තොට යන ප්‍රදේශවලට ද මෙලෙස ජලය සැපයීම තාවකාලිකව නතර කර තිබේ.නළ පද්ධතියේ සිදුවූ අලුත්වැඩියා කටයුතු මේ වන විටත් කඩිනමින් සිදු කෙරෙන අතර, නියමිත වේලාවට පෙර ජල සැපයුම යථා තත්ත්වයට පත් කිරීම මණ්ඩලයේ ඉලක්කය වී ඇත. ජල කප්පාදුව හේතුවෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාව පිළිබඳව සිය කණගාටුව පළ කරන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, හැකි ඉක්මනින් ජලය ලබා දීමට අවශ්‍ය සියලු තාක්ෂණික මැදිහත්වීම් සිදු කරන බව ද වැඩිදුරටත් අවධාරණය කරයි.

























