කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත අති නවීන හෘද කැතීටරීකරණ රසායනාගාරයක් (Cath Lab), ඩිජිටල් ඇන්ජියෝග්‍රැෆි (DSA) සහ ලිතෝට්රිප්සසි ඒකකයක් එක් කරමින්, රුපියල් මිලියන 555ක වටිනාකමින් යුත් නව ප්‍රතිකාර ඒකක සමූහයක් අද (30) ජනතා අයිතියට පත් කෙරිණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහන හරහා, එම රෝහලේ වෛද්‍ය ප්‍රතිකාර සේවාවන්හි ගුණාත්මකභාවය සහ ධාරිතාව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ඉහළ නැංවීමට පියවර ගෙන ඇත.මෙම ව්‍යාපෘතිය අමාත්‍යාංශයේ පුළුල් වැඩසටහනක කොටසක් වන අතර, එහිදී රටපුරා පවතින කැත්ලැබ් ඒකක සංඛ්‍යාව 10 සිට 26 දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ. ඒ සඳහා රුපියල් මිලියන 3103ක ප්‍රතිපාදන වෙන්කර ඇති අතර, රජයේ භාණ්ඩාගාරය මෙන්ම ආසියානු සංවර්ධන බැංකුව සහ ජයිකා (JICA) ආයතනයවල සහයෝගය ඊට ලැබී ඇත. මේ යටතේ කොළඹ, මහනුවර සහ ගාල්ලට අමතරව මඩකලපුව, ත්‍රිකුණාමලය, බදුල්ල, රත්නපුර, අනුරාධපුරය, කුරුණෑගල සහ යාපනය යන ප්‍රධාන රෝහල්වල ද මෙම ඒකක ස්ථාපිත කෙරේ.වැඩසටහන අතරතුර අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, කොළඹ දිස්ත්‍රික්කයේ ඉහළ ජනගහන ඝනත්වය සහ රෝගීන්ගේ ඉල්ලුම සැලකිල්ලට ගනිමින්, අනාගත ජාතික සෞඛ්‍ය සැලසුම් තුළ තවත් තෘතීයික මට්ටමේ රෝහල් ස්ථාපනය කිරීමේ අවශ්‍යතාවය පවතින බවයි. මෙම නවීන පහසුකම් ලබාදීම මගින් රෝගීන්ට වඩාත් කාර්යක්ෂමව සහ වේගවත්ව උසස් මට්ටමේ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමේ අවස්ථාව උදාවනු ඇත.



























