කාන්තා, තරුණ හා ළමා සේවා නියුක්ති (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (08) සිය අත්සන තබා සහතික කළ බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. කම්මැති ඇමතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මෙම පනත් කෙටුම්පත පසුගිය අගෝස්තු 20 වැනි දින පාර්ලිමේන්තුවේදී සම්මත විය. 1956 අංක 47 දරන කාන්තා, තරුණ හා ළමා සේවා නියුක්ති පනත සංශෝධනය කිරීම මෙහි මූලික අරමුණ වී තිබේ.වර්තමාන සමාජ-ආර්ථික තත්ත්වයන්ට නුසුදුසු වන අයුරින් පැරණි පනතේ දඩ මුදල් ප්‍රමාණවත් නොවීම හේතුවෙන්, ළමා සේවා නියුක්තිය සහ අදාළ අනෙකුත් වරදවල් සඳහා පනවා ඇති දඩ මුදල් වර්තමානයට ගැළපෙන පරිදි යාවත්කාලීන කිරීම මෙම සංශෝධනයේ ප්‍රධාන අරමුණ වේ. ඒ අනුව, වයස අවුරුදු 16ට අඩු දරුවන් සේවයේ යෙදවීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර, අදාළ නීති කඩ කරන්නන්ට එරෙහිව අධිකරණයෙන් නියම කළ හැකි රුපියල් 10,000ක දඩ මුදල රුපියල් 100,000ක් දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන ඇත.මෙම අනුමැතිය ලබාදීමත් සමඟ මෙම පනත් කෙටුම්පත 2026 අංක 21 දරන කාන්තා, තරුණ හා ළමා සේවා නියුක්ති (සංශෝධන) පනත ලෙස අද දින සිට බලාත්මක වේ.



























