​කෝටි 60ක මූල්‍ය චෝදනාව අසත්‍යයයි: අමාත්‍ය ලාල් කාන්තගෙන් CID යට පැමිණිල්ලක්!

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරි මාර්ග අමාත්‍ය ලාල් කාන්ත මහතා රුපියල් කෝටි 60ක අයථා මූල්‍ය ගනුදෙනුවක නිරත වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත් පදනම් විරහිත බව පවසමින් ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. “Top News Lk” නමැති ෆේස්බුක් පිටුව හරහා අනුරාධ තෙන්නකෝන් නැමැත්තෙකු සිදුකළ ප්‍රකාශයක් මඟින් මෙම අසත්‍ය තොරතුරු ප්‍රචාරය කර ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.​මෙම සංවිධානාත්මක ප්‍රචාරණය මඟින් අමාත්‍යවරයාගේ පෞද්ගලික කීර්ති නාමයට මෙන්ම අමාත්‍යාංශයේ නිල ක්‍රියාවලියට ද දැඩි හානියක් සිදුකිරීමට උත්සාහ කර ඇති බව එම පැමිණිල්ලේ සඳහන් වේ. මෙය අමාත්‍යාංශයේ විනිවිදභාවය ප්‍රශ්න කිරීමට සහ මහජනතාව නොමඟ යැවීමේ චේතනාවෙන් දියත් කරන ලද ද්වේෂසහගත කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටී.​අදාළ සිදුවීම සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි විවෘත සහ පුළුල් පරීක්ෂණයක් පවත්වා, මෙම මඩ ප්‍රචාරය පිටුපස සිටින පිරිස් අනාවරණය කරගන්නා ලෙස අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත. අසත්‍ය තොරතුරු සමාජගත කිරීම හරහා රජයේ ප්‍රතිරූපය පලුදු කිරීමට ගන්නා මෙවැනි උත්සාහයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම මෙම පැමිණිල්ලේ මූලික අරමුණ වී තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,109

Leave A Reply

Your email address will not be published. Required fields are marked *