අධිකරණ පරිශ්‍රයක් තුළ සිදු වූ වෙඩි තැබීමකින් ගණේමුල්ල සංජීව නැමැත්තා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු ලබන 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (04) නියෝග කළේය. මෙලෙස බන්ධනාගාරගත කෙරුණේ හිටපු යුද හමුදා සෙබළෙකු වන මහේෂ් ඔබේසේකර නැමැති අයෙකි.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු වාර්තා කළ අතර, ඔහු මෙතෙක් රඳවා තබාගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය වූ තොරතුරු ද විස්තර කෙරිණි. විමර්ශන නිලධාරීන් පෙන්වා දුන්නේ මොහු දිගුකාලීනව පාතාල කල්ලි නායකයන් රැසක් සමඟ සමීප සබඳතා පවත්වා ඇති බවයි.මෙම සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී යුද හමුදා නිල ඇඳුම්, අදාළ උපකරණ සහ ජීව පතොරම් අටක් සොයාගැනීමට විමර්ශන කණ්ඩායම් සමත්ව තිබේ. මීට අමතරව, මොහු 2023 මැයි මස සිට යුද හමුදා සේවයට වාර්තා නොකර සිටි අයෙකු බවත් අධිකරණයේදී අනාවරණය විය.සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදුකිරීමට ඇති බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමට මහේස්ත්‍රාත්වරයා මෙහිදී අවසර ලබා දුන්නේය. ජීව පතොරම් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් වෙනම වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද මෙහිදී පොලිසියට නියෝග කෙරිණි.එසේම, මෙම සැකකරුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ගොනු කළ හැකිද යන්න පිළිබඳව සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, ලබන 7 වනදා දක්වා සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරමින් නඩු විභාගය කල් තැබීය.

























