NDB මූල්‍ය අර්බුදය ජාත්‍යන්තර විමර්ශනයකට යොමු කරන ලෙස ඉල්ලීමක්

ජාතික සංවර්ධන බැංකුවේ (NDB) සිදුව ඇති බව කියන මූල්‍ය වංචාවන් සම්බන්ධයෙන් වහාම අන්තර්ජාතික මට්ටමේ ස්වාධීන වෝහාරික පරීක්ෂණයක් පවත්වන ලෙස හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා තිබේ. මෙම සිදුවීම අනාවරණය වීමට මාස 16කට පෙර සිටම වාණිජ බැංකු දෙකක් මගින් මූල්‍ය බුද්ධි ඒකකය දැනුවත් කර තිබියදීත්, මහ බැංකුව ඇතුළු බලධාරීන් නිසි පියවර ගැනීමට ප්‍රමාද වීම මෙරට බැංකු පද්ධතියේ අධීක්ෂණ ක්‍රියාවලියේ පවතින බරපතල අර්බුදයක් බව ඔහු පෙන්වා දෙයි.​බැංකුවේ අභ්‍යන්තර පාලන පද්ධතිවල දුර්වලතා රැසක් මෙමගින් හෙළි වී ඇති බව පවසන කරුණානායක මහතා, විශේෂයෙන්ම CEFT සහ RTGS ශේෂයන් සැසඳීමේ ස්වයංක්‍රීය ක්‍රමවේදයක් නොමැතිකම සහ 2026 වසරේ සිදුකළ රුපියල් බිලියන 16.2ක ණයකර නිකුතුව සම්බන්ධයෙන් වගකිවයුතු ආයතන නිසි ලෙස ක්‍රියා කර ඇත්දැයි සැක පහළ කරයි. මේ හේතුවෙන් පරීක්ෂණ සඳහා ඉන්දීය රිසර්ව් බැංකුව, එංගලන්ත බැංකුව හෝ සිංගප්පූරු මූල්‍ය අධිකාරිය වැනි ජාත්‍යන්තර ආයතනවල තාක්ෂණික සහය ලබාගැනීමේ වැදගත්කම ඔහු අවධාරණය කර ඇත.​මෙම අර්බුදය විසඳීම සඳහා ගන්නා පියවර පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) දැනුවත් කරන ලෙසත්, බැංකු විගණන කමිටුවල වගකීම් සහ මහ බැංකු නිර්ණායක ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව සොයා බලන ලෙසත් හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියි. ආයෝජක විශ්වාසය තහවුරු කිරීම සහ මූල්‍ය ක්ෂේත්‍රයේ ස්ථාවරත්වය රැකගැනීම සඳහා විනිවිදභාවයකින් යුත් තීරණාත්මක ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍ය බව ඔහුගේ අදහසයි.

What's your reaction?

Related Posts

1 of 1,125

Leave A Reply

Your email address will not be published. Required fields are marked *