පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පනවා ඇති බන්ධනාගාර දඬුවමට විරෝධය පළ කරමින් සහ උන්වහන්සේ වහා නිදහස් කරගැනීමේ අරමුණින් මහා සංඝරත්නය ප්‍රමුඛ පිරිසක් සහභාගී වන විශේෂ පාගමනක් අද (10) මහනුවරින් ආරම්භ විය. ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ ඇති වාරියපොළ ශ්‍රී සුමංගල හිමි ප්‍රතිමාව අභියසින් ආරම්භ වූ මෙම පාගමන, ඥානසාර හිමියන් දැනට රඳවා සිටින ස්ථානය දක්වා ගමන් කිරීමට නියමිතව තිබේ.පාගමන ආරම්භ කිරීමට පෙර මහනුවර මඟුල් මඩුවේදී විශේෂ ආශිර්වාද සත්‍යක්‍රියාවක් පවත්වා ඇත. එහිදී අදහස් දැක්වූ පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් සඳහන් කළේ, ඥානසාර හිමියන් රට, ජාතිය සහ සම්බුද්ධ ශාසනයේ සුභසිද්ධිය වෙනුවෙන් අනුපමේය මෙහෙවරක් ඉටුකළ හිමිනමක් බැවින් උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටීම බෞද්ධ ජනතාවගේ වගකීමක් බවයි.ඥානසාර හිමියන්ට පූර්ණ නිදහස හිමිවන තෙක් මෙම විරෝධතා ව්‍යාපාරය නතර නොකරන බව ප්‍රකාශ කළ සුමංගල හිමියන්, අහිංසාවාදී හා ශාන්තිකර අන්දමින් මෙම පාගමනට එක්වන ලෙස සමස්ත මහජනතාවගෙන් ඉල්ලීමක් ද කළේය.

























