බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කර ගිහි ඇඳුමින් අධිකරණයට ඉදිරිපත් කිරීමට ගත් පියවරට එරෙහිව කැකිරාව නගරයේදී භික්ෂූන් වහන්සේලා පිරිසක් විරෝධතා පාගමනක නිරත වූහ. කැකිරාව, පලාගල සහ පලුගස්වැව යන ප්‍රදේශවල විහාරස්ථාන නියෝජනය කරමින් මෙම විරෝධතාව සඳහා මහා සංඝරත්නය වැඩම කර තිබිණි.විවිධ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් ඉතා සාමකාමී අයුරින් නිහඬ පාගමනක නිරත වූ උන්වහන්සේලා, කැකිරාව ඔරලෝසු කණුව වටරවුම වෙත පැමිණ සිය අප්‍රසාදය සහ විරෝධය පළ කළහ. ඥානසාර හිමියන්ගේ සිරදඬුවම යළි බලාත්මක කිරීමෙන් අනතුරුව, බන්ධනාගාර නීතිරීතිවලට අනුකූලව උන්වහන්සේගේ චීවරය ඉවත් කිරීමට කටයුතු කළ බව බන්ධනාගාර ප්‍රකාශකවරයා මීට පෙර මාධ්‍ය වෙත දැනුම් දී තිබුණි.මෙම ක්‍රියාවලියට විරුද්ධව සංවිධානය වූ මෙම විරෝධතාව හේතුවෙන් කැකිරාව නගරයේ සුවිශේෂී තත්ත්වයක් උද්ගත විය. සංඝරත්නය පෙන්වා දෙන්නේ භික්ෂූන් වහන්සේ නමකට සිදු කර ඇති මෙම අපහාසය බරපතල කාරණයක් බවයි.

























