ඩෙංගු රෝගය වසංගත තත්ත්වයකට: ප්‍රධාන රෝහල් රැසක් උපරිම ධාරිතාවට

දිවයින පුරා ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අතර, මේ වන විට කොළඹ ජාතික රෝහල, IDH, කළුබෝවිල, හෝමාගම, රාගම සහ මාතර යන ප්‍රධාන රෝහල්වල රෝගීන් ඇතුළත් කිරීමේ ධාරිතාව උපරිම මට්ටමට පැමිණ ඇති බව ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පවසයි. දැනට වාර්තා වී ඇති සමස්ත රෝගීන් 48,287 න් 14,446ක්ම වාර්තා වී ඇත්තේ ජූනි මාසයේදීය. පසුගිය පැය 24 තුළ පමණක් අලුතින් රෝගීන් 757 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, සමස්ත රෝගීන්ගෙන් 52.12%ක්ම බස්නාහිර පළාතෙන් වාර්තා වේ. මෙම රෝගී තත්ත්වය හේතුවෙන් මේ වන විට කුඩා දරුවන් පස් දෙනෙකු ඇතුළුව ජීවිත 29ක් අහිමි වී තිබේ.​මේ හේතුවෙන් පළාත් 6ක් පුරා ග්‍රාම නිලධාරී වසම් 600ක් කේන්ද්‍ර කර ගනිමින් දින තුනක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් සෞඛ්‍ය අංශ විසින් ආරම්භ කර ඇත. මෙහිදී පාසල් සහ පොදු ස්ථාන පිරිසිදු කිරීම මෙන්ම කොළඹ අධි අවදානම් කලාපවල ඩ්‍රෝන තාක්ෂණය යොදා ගනිමින් මදුරු කීටයන් සෙවීමේ මෙහෙයුම් ද ක්‍රියාත්මකය. මදුරුවන් බෝවන ලෙස පරිසරය තබාගත් පුද්ගලයන් 4,000කට අධික පිරිසකට පසුගිය සති දෙක තුළ නීතිමය පියවර ගෙන ඇති අතර, මදුරු කීටයන් හමුවන පාසල්, පන්සල් හෝ හිස් ඉඩම්වල වගකිවයුතු පාර්ශවයන්ට එරෙහිව තරාතිරම නොබලා නඩු පැවරීමට කටයුතු කරන බව බලධාරීහු අවධාරණය කරති.​රෝග ව්‍යාප්තිය තවදුරටත් ඉහළ ගියහොත් සෞඛ්‍ය පද්ධතිය කඩා වැටීමේ අවදානමක් පවතින බැවින්, තමන්ගේ නිවස සහ අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමට මහජනතාව වගබලා ගත යුතුය. විශේෂයෙන්ම ඩෙංගු මදුරුවන් දිවා කාලයේදී දෂ්ට කරන බැවින්, දරුවන් සහ වැඩිහිටියන් ශරීරය හොඳින් වැසෙන සේ ඇඳුම් ඇඳීම වැදගත් වේ. මෙම මාරක රෝගය තුරන් කිරීම රටේ සියලුම පුරවැසියන්ගේ වගකීමක් බැවින්, නිලධාරීන් සිදු කරන පිරිසිදු කිරීමේ වැඩසටහන් සඳහා උපරිම සහයෝගය ලබා දෙන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,204

Leave A Reply

Your email address will not be published. Required fields are marked *