ඩොලර් මිලියන 2.5ක සයිබර් කොල්ලය ගැන සජිත්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්

ඕස්ට්‍රේලියාවට ගෙවීමට තිබූ ඇමරිකානු ඩොලර් ලක්ෂ 25ක ණය වාරික මුදලක් හැකර්වරුන් විසින් සොරාගෙන ඇති බවත්, මෙම බරපතල මූල්‍ය වංචාව මාස කිහිපයක් තිස්සේ රජය විසින් පාර්ලිමේන්තුවෙන් සඟවා තැබූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරයි. පසුගිය ජනවාරි මාසයේ සිදුවූ මෙම මූල්‍ය අහිමිවීම පිළිබඳව විමර්ශනය කිරීමට මාර්තු මාසය දක්වා කල් ගැනීම සහ අදාළ සිදුවීම රහසක් ලෙස තබා ගැනීම තුළින් වත්මන් පාලනයේ විනිවිදභාවය පිළිබඳ දැඩි සැකයක් මතු වන බවත්, මහජන බදු මුදල් ආරක්ෂා කිරීමට රජය අසමත්ව ඇති බවත් ඒ මහතා පෙන්වා දෙයි.​රාජ්‍ය ණය කළමනාකරණ ආයතනයේ සහ මුදල් අමාත්‍යාංශයේ පවතින දුර්වලතා හේතුවෙන් මෙවැනි සයිබර් ප්‍රහාරයක් එල්ල වීමට ඉඩ ලැබී ඇති බව පවසන විපක්ෂ නායකවරයා, බැංකු පද්ධතියේ පවතින ආරක්ෂිත විද්‍යුත් පණිවුඩ හුවමාරු ක්‍රමවේද (White listed email) සහ දුරකථන තහවුරු කිරීම් (Call verification) වැනි මූලික පියවර පවා අනුගමනය නොකිරීම ගැටලු සහගත බව අවධාරණය කරයි. මීට පෙර මහ බැංකුව විසින් ආරක්ෂක ක්‍රමවේද පිළිබඳ අනතුරු ඇඟවීම් කර තිබියදීත්, වගකිවයුතු ආයතන නිසි පියවර නොගැනීම නිසා රටේ වටිනා විදේශ විනිමය අහිමි වී ඇති බව ප්‍රේමදාස මහතා පවසයි.​ඩිජිටල් රටක් සහ සුහුරු පාලනයක් පිළිබඳ පොරොන්දු දෙමින් බලයට පත් වූ “මාලිමා” රජය, අවසානයේ රටේ මුදල් හැකර්වරුන්ට “පිට්පොකට්” ගැසීමට ඉඩ දී බලා සිටින “වැඩබැරි” ආණ්ඩුවක් බවට පත්ව ඇති බවට ඔහු විවේචනය කරයි. මෙම මූල්‍ය පාඩුව ජනතාවගේ බදු මුදලින් පියවීමට කටයුතු නොකළ යුතු බවත්, අදාළ සිදුවීම සම්බන්ධයෙන් අපක්ෂපාතී සහ විනිවිදභාවයෙන් යුත් විමර්ශනයක් වහාම සිදු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටී.

What's your reaction?

Related Posts

1 of 1,109

Leave A Reply

Your email address will not be published. Required fields are marked *