ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් අමෙරිකානු තැපැල් සේවය (US Post) වෙත යොමුකළ ඇමෙරිකානු ඩොලර් 625,000කට අධික දැවැන්ත මුදලක් අදාළ ආයතනයට ලැබී නොමැති බව අනාවරණය වී තිබේ. අද (28) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ මෙම අතුරුදන් වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හරහා විශේෂ විමර්ශනයක් දැනටමත් ආරම්භ කර ඇති බවයි.අදාළ මුදල වාරික දෙකකදී අමෙරිකානු තැපැල් සේවය වෙත ගෙවීමට පියවර ගෙන තිබුණ ද, තමන් වෙත එවැනි මුදලක් මෙතෙක් ලැබී නැති බව එම ආයතනය දැනුම් දී ඇත. රාජ්‍ය ආයතනයක් ජාත්‍යන්තර සේවාවක් වෙත ගෙවූ මෙතරම් විශාල ධනස්කන්ධයකට සිදු වූ දෙය පිළිබඳව තැපැල් දෙපාර්තමේන්තුව මට්ටමින් අභ්‍යන්තර පරීක්ෂණයක් ද මේ වන විට දියත් කර තිබේ.මහා භාණ්ඩාගාරයේ මූල්‍ය දත්ත සම්බන්ධයෙන් මතුව ඇති ඇතැම් ගැටලුකාරී වාතාවරණයක් මධ්‍යයේ තැපැල් දෙපාර්තමේන්තුව තුළ ද මෙවැනි මූල්‍ය අක්‍රමිකතාවයක් වාර්තා වීම රජයේ දැඩි අවධානයට යොමුව ඇත. මුදල් අමාත්‍යාංශය විසින් ද මේ හා සමාන මූල්‍ය දෝෂයන් කිහිපයක් සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කර ඇති අතර, රාජ්‍ය මූල්‍ය පාලනයේ පවතින දුර්වලතා මෙයින් මැනවින් පිළිබිඹු වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.රජයේ නිලධාරීන් සම්බන්ධයෙන් වන අභ්‍යන්තර විනය පරීක්ෂණවලට පමණක් සීමා නොවී, සිදුව ඇති මූල්‍ය අවභාවිතයන් සම්බන්ධයෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට රජය තීරණය කර ඇත. රාජ්‍ය ආයතන තුළ සිදුවන දූෂණ සහ අක්‍රමිකතා මැඩලීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ එක්ව විධිමත් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන බව ද මෙහිදී වැඩිදුරටත් අවධාරණය කෙරිණි.

























