ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් හි මව් සමාගම වන මෙටා (Meta) ආයතනයට එරෙහිව ඇමරිකානු ප්‍රාන්ත කිහිපයක් විසින් ගොනු කර ඇති ඓතිහාසික නඩුවක විභාග කටයුතු කැලිෆෝනියා ෆෙඩරල් අධිකරණයේදී ආරම්භ වී තිබේ. තරුණ පරපුර හිතාමතාම සමාජ මාධ්‍ය වෙත ඇබ්බැහි කරවීමට එම වේදිකා සැලසුම් කර ඇති බවට කැලිෆෝනියා, කොලරාඩෝ, කෙන්ටකි සහ නිව් ජර්සි යන ප්‍රාන්ත ප්‍රධාන වශයෙන් චෝදනා නඟයි.පැමිණිල්ල වෙනුවෙන් කරුණු දක්වමින් නියෝජ්‍ය නීතිපතිවරුන් සඳහන් කළේ පරිශීලකයින් වේදිකාව මත උපරිම කාලයක් රඳවා ගැනීමට සහ දෙමාපියන්ගේ අවසරයකින් තොරව වයස 13 ට අඩු දරුවන්ගේ දත්ත රැස් කිරීමට මෙටා ආයතනය ක්‍රියා කර ඇති බවයි. සති හයක් පුරා පැවැත්වීමට නියමිත මෙම නඩුව හරහා අදාළ ප්‍රාන්ත සන්ධානය ඩොලර් බිලියන ගණනක වන්දි මුදලක් මෙන්ම සමාගමේ මූලික ක්‍රියාකාරී වෙනස්කම් ද අපේක්ෂා කරයි.මෙම චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කර ඇති මෙටා නීතිඥවරුන් පවසන්නේ නව යොවුන් වියේ දරුවන්ගේ මානසික යහපැවැත්ම හා සමාජ මාධ්‍ය භාවිතය අතර සෘජු සම්බන්ධයක් නොමැති බව පර්යේෂණවලින් පෙනී යන බවයි. තවද, ‘ඉන්ස්ටග්‍රෑම් යොවුන් ගිණුම්’ වැනි විශේෂාංග හරහා තරුණ පරිශීලකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට සමාගම මේ වන විටත් පියවර ගෙන ඇති බව ඔවුන් අධිකරණයට දන්වා සිටියේය.ආරම්භක තර්කවලින් අනතුරුව පැමිණිල්ලේ පළමු සාක්ෂිකරු ලෙස හිටපු ආරක්ෂක ඉංජිනේරුවරයෙක් සාක්ෂි ලබා දුන් අතර, ඉදිරියේදී මාර්ක් සකර්බර්ග් ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් කිහිප දෙනෙකුද සාක්ෂි දීමට නියමිතය. විනිසුරුවරිය විසින් සමාගම වරදකරු ලෙස තීන්දු කළහොත් මෙටා ආයතනයට දැවැන්ත මූලික දඩ මුදලකට මුහුණ දීමට සිදු වනු ඇත.



























