මධ්‍යම පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ ඇතැම් තීරණවලට එරෙහිව තලවකැලේ – නුවරඑළිය මාර්ගයේ පෞද්ගලික බස් හිමියන් සහ සේවකයින් පිරිසක් අද (10) නානුඔය, රදැල්ල කෙටි මාර්ගය අසලදී ධාවනයෙන් ඉවත්ව විරෝධතාවයක නිරත වූහ. රදැල්ල කෙටි මාර්ගය ඔස්සේ ධාවනය වන හැටන් – නුවරඑළිය සුඛෝපබෝගී බස් රථ හේතුවෙන්, තලවකැලේ – කිරිමැටිය වටරවුම් මාර්ගයේ ධාවනය වන තමන්ගේ බස් රථවලට දැඩි අසාධාරණයක් සිදුවන බව ඔවුහු පෙන්වා දෙති. මෙම තත්ත්වය මත දිනකට එක් වාරයකදී කිලෝමීටර් 48ක දුරක් ගෙවා දමන තමන්ට බස් කර්මාන්තය ඉදිරියට කරගෙන යාම අසීරු වී ඇති බවට ඔවුහු චෝදනා කරති.මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට ආසන්නතම හේතුව වී ඇත්තේ බස් රථ සඳහා GPS තාක්ෂණය සවි කිරීම අනිවාර්ය කිරීමට බලධාරීන් ගෙන ඇති තීරණයයි. එසේ සවි නොකරන බස් රථවල මගී අවසර බලපත්‍රය (Route Permit) අහෝසි කරන බවට බලධාරීන් පවසා ඇති අතර, එම යන්ත්‍ර සවි කිරීමේදී අය කරන ගාස්තුවල පවතින විෂමතාව පිළිබඳවද මෙහිදී දැඩි විරෝධයක් එල්ල විය. හැටන් බස් රථ සඳහා රුපියල් 11,000ක් අය කරන පසුබිමක, තමන්ගෙන් රුපියල් 17,500ක මුදලක් අය කිරීමට බලධාරීන් බලපෑම් කරන බව විරෝධතාකරුවෝ පවසති.පවතින ගැටලුවලට බලධාරීන් මෙතෙක් නිසි ප්‍රතිචාර දක්වා නොමැති අතර, මෙම පොදු ප්‍රශ්න සඳහා සාධාරණ විසඳුම් ලබා දෙන්නේ නම් තම බස් රථවලට GPS තාක්ෂණය සවි කරගැනීමට කිසිදු අකමැත්තක් නොමැති බවද බස් හිමියන් වැඩිදුරටත් අවධාරණය කර සිටිති.

























