තේ වතු සහ කර්මාන්තශාලා ආශ්‍රිතව සේවය කරන ශ්‍රමික ප්‍රජාවගේ මහලු විය සුරක්ෂිත කිරීම වෙනුවෙන් විශේෂ විශ්‍රාම වැටුප් සහ රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට පියවර ගෙන ඇත. කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සහ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාවට නංවයි. ගතේ සවිය පවතින කාලයේ රටේ ආර්ථිකයට දායක වන ශ්‍රමිකයා, වයස්ගත වූ පසු අසරණ වීම වැළැක්වීම මෙහි මූලික අරමුණයි.මෙම ක්‍රමය යටතේ වයස අවුරුදු 18 සිට 59 දක්වා වූ ඕනෑම අයෙකුට තම මූල්‍යමය ශක්තිය අනුව දායකත්වය ලබා දිය හැකිය. උදාහරණයක් ලෙස, වයස අවුරුදු 18 දී සම්බන්ධ වන අයෙකුට කාර්තුවකට රුපියල් 600ක් වැනි සුළු මුදලක් ගෙවීමෙන්, වයස අවුරුදු 60 සම්පූර්ණ වූ පසු රුපියල් 5000ක මාසික විශ්‍රාම වැටුපක් හිමිකර ගත හැක. තමන් තෝරාගන්නා වාරිකය අනුව මාසිකව රුපියල් 15,000, 20,000 හෝ 25,000 දක්වා ඉහළ වැටුපක් ලබාගැනීමට ද මෙහිදී අවස්ථාව සලසා දී තිබේ.මෙම යෝජනා ක්‍රමයේ ඇති සුවිශේෂී ලක්ෂණය වන්නේ දායකයාගේ කැමැත්ත පරිදි ඕනෑම අවස්ථාවක තමන්ට ලැබෙන විශ්‍රාම වැටුප් ප්‍රමාණය වැඩිකර ගැනීමට හැකිවන පරිදි සැලසුම් සකස් කර ගැනීමට හැකි වීමයි. මෙය ස්ථාවර මට්ටමකට වඩා නම්‍යශීලී ප්‍රතිලාභ රැසක් සහිත ආයෝජනයක් ලෙස හඳුන්වා දිය හැකිය.කේවල විශ්‍රාම වැටුපකට අමතරව, මෙහි රක්ෂණාවරණයක් ද ඇතුළත් වේ. යම් හෙයකින් දායකයා විශ්‍රාම වැටුප් ලැබීමට පෙර හදිසි අනතුරකට ලක්ව පූර්ණ හෝ අර්ධ දුබලතාවයට පත් වුවහොත් හෝ අකාලයේ මියගියහොත්, ඒ සඳහා වන ජීවිත රක්ෂණ වන්දි මුදල් අදාළ ශ්‍රමිකයාගේ කලත්‍රයා වෙත ලබා දීමට මණ්ඩලය කටයුතු කරයි.තේ කර්මාන්තයට දශක ගණනාවක් තිස්සේ ශ්‍රමය වගුරුවන දායකයන්ට ගෞරවනීය විශ්‍රාම දිවියක් සහතික කරන මෙම වැඩසටහන, වැවිලි ක්ෂේත්‍රයේ නව පිම්මක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. තේ නිෂ්පාදන ක්‍රියාවලියේ නිරත ඕනෑම සේවකයෙකුට දැන් මෙම ප්‍රතිලාභීන් අතරට එක්වීමට අවස්ථාව විවෘතව පවතී.


























