මින් ඉදිරියට දිවයින පුරා පවත්වනු ලබන දන්සැල් වෙත ජනතාව ආකර්ෂණය කර ගැනීම සඳහා බෞද්ධ කොඩි ප්‍රදර්ශනය කිරීමෙන් වළකින ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස් (සංවර්ධන) අසේල මධුසංඛ මහතා දැනුම් දෙයි. ඒ වෙනුවට දන්සැල් පැවැත්වෙන ස්ථාන හඳුනාගැනීම සඳහා භාවිත කළ යුත්තේ කහ පැහැති කොඩි පමණක් බව ඒ මහතා අවධාරණය කළේය. අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇතිව මේ වන විටත් මීට අදාළ නිල චක්‍රලේඛය නිකුත් කර ඇති බවද හෙතෙම කියා සිටියේය.රාජ්‍ය වෙසක් උත්සවයේ කටයුතු සංවිධානය කිරීම පිළිබඳව මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා අද (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කොමසාරිස්වරයා මෙම නව උපදෙස් මාලාව ප්‍රකාශයට පත් කළේය. බෞද්ධ කොඩියේ ඇති පූජනීයත්වය ආරක්ෂා කරමින්, උත්සව සමයන්හිදී සිදුවන නොහොබිනා ප්‍රචාරණ කටයුතු වැළැක්වීම මෙම පියවරෙහි ප්‍රධාන අරමුණ වී තිබේ.

























