’දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය වෙන් කළ රුපියල් බිලියන 500ක අතිවිශාල ප්‍රතිපාදන, මෙම වසර අවසන් වීමට පෙර පූර්ණ ලෙස යොදවා අවසන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. අද (12) පෙරවරුවේ මාතලේ දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ, රජයේ මුදල් ඉතා සැලසුම් සහගතව සහ කාර්යක්ෂමව මහජන යහපත උදෙසා වැය කිරීම දේශපාලන අධිකාරියේ මෙන්ම නිලධාරීන්ගේ ද වගකීමක් බවයි. නීතිය කාටත් පොදු නව දේශපාලන සංස්කෘතියක් තුළ රාජකාරි ඉටු කිරීමට පවතින නීති බාධාවක් නොවන බවත්, අවශ්‍ය නම් ජනතාව වෙනුවෙන් නීති සංශෝධනය කිරීමට පවා රජය සූදානම් බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.දිස්ත්‍රික්කයේ ආපදා සහන වැඩපිළිවෙළේ ප්‍රගතිය සමාලෝචනය කළ නිලධාරීන් සඳහන් කළේ, මාතලේ දිස්ත්‍රික්කය තුළ පීඩාවට පත් පවුල් සහ සිසුන් වෙනුවෙන් ලබා දෙන මූල්‍ය දීමනා මේ වන විටත් සම්පූර්ණයෙන් ගෙවා අවසන් කර ඇති බවයි. හානියට පත් නිවාස 4,000කට අධික සංඛ්‍යාවකින් තක්සේරුව අවසන් කළ නිවාස සඳහා වන්දි ගෙවා ඇති අතර, ඉතිරි නිවාස සඳහා තක්සේරු කටයුතු කඩිනම් කර ඇත. විශේෂයෙන්ම රක්ෂිත සහ අධිඅවදානම් කලාපවල පදිංචිව සිටි, ඉඩම් හිමිකම් නොමැති පවුල් පදිංචි කරවීම සඳහා විකල්ප විසඳුම් සහ නව නිර්ණායක හඳුන්වා දීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.මනුෂ්‍යත්වයට මුල් තැන දෙමින්, සුළි කුණාටුවෙන් දෙමාපියන් අහිමි වූ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා එක් එක් දරුවා ඉලක්ක කරගත් සුවිශේෂී වැඩසටහන් සකස් කරන ලෙස ජනාධිපතිවරයා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයට නියෝග කළේය. එසේම, අධිඅවදානම් කලාපවල ජීවත් වන පවුල් කඩිනමින් ඉවත් කර ආරක්ෂිත ස්ථානවල පදිංචි කිරීම ප්‍රමුඛ කාර්යයක් ලෙස සලකා කටයුතු කරන ලෙස උපදෙස් දුන් ඔහු, පීඩාවට පත් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා පාසල් පද්ධතිය ප්‍රතිසංවිධානය කිරීමේ වැදගත්කම ද පැහැදිලි කළේය.දිස්ත්‍රික්කයේ යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳව ද අවධානය යොමු කළ ජනාධිපතිවරයා, විනාශයට පත් මාර්ග 16ක් සහ පාලම් යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රගතිය විමසා බැලීය. ඉදිකිරීම් අවසන් වෙමින් පවතින මොරගහකන්ද ස්ථිර පාලම, රිවස්ටන් සංචාරක මාර්ගය සහ දීර්ඝකාලීන ගැටලුවක්ව පවතින ගලේවෙළ – මාතලේ මාර්ගයේ වැඩකටයුතු කඩිනම් කරන ලෙස අදාළ අංශ වෙත දන්වන ලදී. මීට අමතරව, පළාත් පාලන ආයතන සතු මාර්ග, බෝක්කු සහ ජල ව්‍යාපෘති කඩිනමින් පිළිසකර කර ජනතා අයිතියට පත් කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී මතු විය.නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස, ආපදාවෙන් පීඩාවට පත් කෘෂිකාර්මික හා සත්ත්ව නිෂ්පාදන ක්ෂේත්‍ර නඟාසිටුවීමට රජය විශේෂ අවධානයක් යොමු කර ඇත. විනාශ වූ ව්‍යාපාර, සංචාරක හා පතල් අංශ සඳහා වන්දි ගෙවීමේ ක්‍රියාවලියේ පවතින ගැටලු නිරාකරණය කර ගනිමින් ග්‍රාමීය ආර්ථිකය යළි පණ ගැන්වීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා දන්වා සිටියේය. 2026 අයවැය මගින් ප්‍රතිපාදන වෙන් කර ඇති මාතලේ නගර සංවර්ධන සැලැස්ම සහ දඹුල්ල රෝහල නව ස්ථානයක ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය නියමිත කාලයට අවසන් කිරීමේ තීරණාත්මක බව ද ඔහු මෙහිදී සිහිපත් කළේය.මෙම විශේෂ සාකච්ඡාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූහ. ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමේදී මතුවන පරිපාලනමය බාධා ඉවත් කරමින්, සියලු දෙනා ඒකාබද්ධ සැලැස්මක් යටතේ උපරිම කැපවීමෙන් කටයුතු කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසාන වශයෙන් අවධාරණය කළේය.

























