අදට (01) යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් දිවයිනේ ප්‍රධාන දේශපාලන පක්ෂ රැසක් සිය ශක්තිය විදහා දක්වමින් මැයි දින සැමරුම් හා පෙළපාලි සංවිධානය කර තිබේ. මෙවර ජාතික ජන බලවේගය දිවයින පුරා මැයි රැලි 21ක් පවත්වන අතර, එහි ප්‍රධාන රැලිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම තරුණ සේවා සභාව ඉදිරිපිටදී පැවැත්වේ. “ජන රජයට ජන බලයක්” තේමාව යටතේ පැවැත්වෙන මෙම විරෝධතාව නුගේගොඩ දෙල්කඳ මංසන්ධියෙන් ආරම්භ වීමට නියමිත අතර, ජනාධිපතිවරයා නුවරඑළිය රැලියට ද සහභාගී වීමට නියමිතව ඇත.සමගි ජන බලවේගය සිය මැයි දින ජන හමුව මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගනයේදී පවත්වන අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය බලය ප්‍රදර්ශනය කිරීම සඳහා බොරැල්ල කැම්බල් පිටිය තෝරාගෙන තිබේ. මීට අමතරව “දියුණු ශ්‍රී ලංකාවක් වෙනුවෙන් මැයි හමුව” යන තේමාවෙන් සර්වජන බලයේ සැමරුම තිඹිරිගස්යාය හෙන්රි පේදිරිස් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.ප්‍රධාන පක්ෂ කිහිපයක් මෙවර මහජන රැලි පැවැත්වීමෙන් වැළකී සිටීම ද විශේෂත්වයකි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහා පරිමාණ රැලියක් වෙනුවට ටී.බී. ඉලංගරත්න පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම සහ දිවයින පුරා ආගමික වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත. එසේම, අද දිනට යෙදී ඇති පෝය දිනය සැලකිල්ලට ගනිමින් එක්සත් ජාතික පක්ෂය ද මෙවර මැයි දින රැලි නොපැවැත්වීමට පියවර ගෙන තිබේ.මැයි දින පෙළපාලි සහ රැලි හේතුවෙන් කොළඹ ඇතුළු ප්‍රධාන නගර කිහිපයක විශේෂ රථවාහන සැලසුම් ක්‍රියාත්මක වන අතර, ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් රැකවල් ද තර කර ඇත. කම්කරු අයිතිවාසිකම් දිනාගැනීමේ අරගලය සිහිපත් කරමින් විවිධ වෘත්තීය සමිති ද සිය සාමාජිකයන් සමඟ මෙම සැමරුම් සඳහා එක්වීමට නියමිතය.

























