අඛණ්ඩව ඇද හැලෙන තද වැසි හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පියවර ගෙන ඇත. අද (15) පස්වරු 4.00 දක්වා වලංගු වන පරිදි මෙම නිවේදන නිකුත් කර ඇති අතර, තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් අවදානම ඉහළ යා හැකි බව එම සංවිධානය පෙන්වා දෙයි. විශේෂයෙන් ගාල්ල, කළුතර, කුරුණෑගල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා දෙවන මට්ටමේ (ඇම්බර්) අනතුරු ඇඟවීම් පවතින බැවින් එම ප්‍රදේශවල වැසියන් දැඩි සුපරීක්ෂාකාරීව සිටීම අත්‍යවශ්‍ය වේ.ඒ අනුව නෙළුව, අගලවත්ත, බදුරලිය, මතුගම, හොරණ, වලල්ලාවිට, අලව්ව මෙන්ම පැල්මඩුල්ල සහ රත්නපුර යන ප්‍රදේශවලට ඇම්බර් වර්ණ අනතුරු ඇඟවීම් බලපැවැත්වේ. මීට අමතරව බදුල්ල, මහනුවර, කෑගල්ල, මාතලේ, මාතර, මොනරාගල, නුවරඑළිය සහ කොළඹ (සීතාවක) යන දිස්ත්‍රික්කවල අවදානම් කලාප සඳහා පළමු මට්ටමේ (කහ) පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. කඳුබෑවුම් සහ නායයෑම් අවදානම් සහිත බෑවුම් ප්‍රදේශවල ජීවත් වන ජනතාව මේ සම්බන්ධයෙන් නිසි අවධානය යොමු කළ යුතුය.පොළොවේ ඉරිතැලීම් ඇතිවීම, ගස් හෝ විදුලි කණු අසාමාන්‍ය ලෙස ඇලවීම, බිත්ති පුපුරා යාම සහ අලුතින් දිය උල්පත් මතුවීම වැනි පූර්ව නායයෑම් ලක්ෂණ නිරීක්ෂණය වන්නේ නම්, වහාම එම ස්ථානවලින් ඉවත් වී ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරන ලෙස බලධාරීන් මහජනතාවට දැනුම් දෙයි. මෙවැනි හදිසි අවස්ථාවකදී ග්‍රාම නිලධාරීවරයා හෝ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (117) සම්බන්ධ කර ගැනීමට කටයුතු කිරීම වැදගත් වේ.

























