ඓතිහාසික දෙවිනුවර ඇසළ පෙරහර මංගල්‍යය නිමිත්තෙන් ප්‍රදේශයේ ඇතිවිය හැකි වාහන තදබදය පාලනය කිරීම සඳහා අද (28) සහ හෙට (29) යන දිනවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ. මගී ජනතාවට සහ රියදුරන්ට බාධාවකින් තොරව ගමන් කිරීමට පහසුකම් සැලසීමේ අරමුණින් හඳුන්වා දී ඇති මෙම විකල්ප මාර්ග පද්ධතිය අද රාත්‍රී 9.00 දක්වා ක්‍රියාත්මක වන අතර, ඒ සඳහා මහජනතාවගේ සහයෝගය අපේක්ෂා කෙරේ.මෙම කාල සීමාව තුළ මාතර සිට තංගල්ල දෙසට ගමන් ගන්නා වාහන මැද්දවත්ත කාර්මික විද්‍යාලය අසලින් හැරී, මාතර – යටියන මාර්ගය හරහා කැකනදුර හන්දියට පැමිණ වේහැල්ල මාර්ගය ඔස්සේ දික්වැල්ල වෙත ළඟා විය හැක. මීට අමතරව, තංගල්ල දෙස සිට මාතර දෙසට පැමිණෙන රථවාහන තලල්ල කාර්මික විද්‍යාලය අසලින් හැරී නාඔටුන්න මාර්ගය ඔස්සේ වියන්නරුව හන්දියට පැමිණ, එතැන් සිට දික්වැල්ල – වේහැල්ල මාර්ගය හරහා කැකනදුර හන්දියට පැමිණ මාතර දෙසට ගමන් කළ හැකි වන පරිදි විකල්ප මාර්ග සකස් කර ඇත.

























