වසර 90ක් පුරා සත්ව සුබසාධනය, සංරක්ෂණය සහ පාරිසරික අධ්‍යාපනය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටුකළ දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ 90 වැනි සංවත්සරය ජූලි 3 වැනිදාට යෙදී තිබේ. ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සංවිධානය කරන මෙම සැමරුමට සමගාමීව, එහි උපත ලැබූ සිංහ පැටවුන් දෙදෙනා සඳහා මහජනතාව යෝජනා කළ නම් අතුරින් තෝරාගත් නිල නම් එදින ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. එමෙන්ම එදිනට සිංහ පැටවුන් සිය මව සමඟ සිංහ දූපතේදී දැකබලා ගැනීමට ද අමුත්තන්ට අවස්ථාව සැලසේ.මීට අමතරව, සත්වෝද්‍යානයේ උපත ලැබූ නයිල් හිපෝ පැටවා ප්‍රථම වරට මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීමට ද කටයුතු යොදා ඇත. වයස අවුරුදු 18ට අඩු පාසල් දරුවන්ට එම හිපෝ පැටවා සඳහා නමක් යෝජනා කිරීමට මෙහිදී අවස්ථාව හිමිවන අතර, සිංහ පැටවුන්ට නම් තැබූ ජයග්‍රාහකයන් වෙනුවෙන් ත්‍යාග ප්‍රදානය කිරීම ද එදිනම සිදු කිරීමට නියමිතය.මින් මැදුර, සමනල උයන සහ විවිධ අධ්‍යාපනික ප්‍රදර්ශන ඇතුළු සත්වෝද්‍යානයේ විශේෂිත අංග රැසක් ඔස්සේ සොබාදහමේ අපූර්වත්වය අත්විඳීමට නරඹන්නන්ට අවස්ථාව සලසා දී ඇත. මෙම නවමු අත්දැකීම් විඳගැනීම සඳහා පැමිණෙන ලෙස ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සියලු දේශීය හා විදේශීය සංචාරකයන්ට විවෘත ආරාධනයක් කර සිටියි.

























