දේශීය අරමුදලින් කටුනායක පළමු පර්යන්තය නවීකරණය ඇරඹෙයි

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පවතින දැඩි මගී තදබදයට කඩිනම් විසඳුමක් ලෙස එහි පැරණි පළමු පර්යන්තය මුළුමනින්ම ප්‍රතිසංස්කරණය කිරීමේ මහා පරිමාණ ව්‍යාපෘතියක් රජය විසින් ආරම්භ කර තිබේ. විදේශීය ණය මත යැපීමකින් තොරව, සම්පූර්ණයෙන්ම දේශීය රාජ්‍ය ප්‍රතිපාදන සහ අරමුදල් පමණක් යොදවමින් රුපියල් බිලියන 15ක වියදමකින් මෙම සංවර්ධන කටයුතු සිදු කිරීම විශේෂත්වයකි. ජපාන ආධාර මත ඉදිවන දෙවැනි පර්යන්තයේ වැඩ නිමවීමට තවත් වසර කිහිපයක් ගතවන බැවින්, වත්මන් සංචාරක පිබිදීමට ගැළපෙන පරිදි මෙම පියවර ගත් බව වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා පෙන්වා දෙයි.​පවතින ක්ෂණික තදබදය පාලනය කිරීම වෙනුවෙන් පෞද්ගලික අංශයේ දායකත්වය ඇතිව විශේෂ තාවකාලික මණ්ඩපයක් (Marquee) මේ වනවිටත් ඉදිකර ඇති අතර, ඒ හරහා අතිරේක චෙක්-ඉන් කවුන්ටර 14ක් ස්ථාපිත කර ඇත. එමගින් දිනකට අමතර ගුවන් යානා වාර 10ත් 20ත් අතර ප්‍රමාණයක් හැසිරවීමේ හැකියාව ගුවන් තොටුපළට ලැබී තිබේ. මීට අමතරව ස්ථාවර සැලැස්ම යටතේ මගීන් පිටත්වීමේ ප්‍රධාන ශාලාව පුළුල් කිරීම, ආරක්ෂක හා ආගමන විගමන අංශවල පෝලිම් පාලනය කිරීම සහ බෑගෑන් හැසිරවීමේ පද්ධති නවීකරණය කිරීම ද සිදු කෙරේ.​මෙම සමස්ත නවීකරණ කටයුතු අවසානයේදී පළමු පර්යන්තයේ වාර්ෂික මගී ධාරිතාව මිලියන 6 සිට මිලියන 10 දක්වා සැලකිය යුතු මට්ටමකින් ඉහළ යනු ඇත. මෙමගින් ගුවන් තොටුපළේ මෙහෙයුම් කටයුතු වඩාත් කාර්යක්ෂම වන අතර, ශ්‍රී ලංකාව කලාපීය ගුවන් සේවා කේන්ද්‍රස්ථානයක් ලෙස ඉදිරියට රැගෙන යාමට ද මෙය මහෝපකාරී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

What's your reaction?

Related Posts

1 of 1,190

Leave A Reply

Your email address will not be published. Required fields are marked *