ඉන්දියානු වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ අංශයට නව අවස්ථා උදා කර දීමේ අරමුණින්, අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ නවදිල්ලි මහ කොමසාරිස් කාර්යාලය එක්ව විශේෂ ව්‍යාපාරික දූත පිරිසක් ඉන්දියාව වෙත යවා තිබේ. අගෝස්තු 8 සිට 13 දක්වා ක්‍රියාත්මක වන මෙම සංචාරය හරහා දෙරට අතර ද්විපාර්ශ්වික වෙළඳ හා ආයෝජන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂිතය.මෙම නියෝජිත පිරිසට අපනයන සංවර්ධන මණ්ඩලයේ සහ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ප්‍රධානීහු මෙන්ම, ප්‍රමුඛ පෙළේ සමාගම් රැසක නියෝජකයින් සහ කර්මාන්ත සංගම් නියෝජිතයෝ ඇතුළත් වෙති. ඔවුන් මුම්බායි හි පැවති ඉන්දියා ජාත්‍යන්තර ස්වර්ණාභරණ ප්‍රදර්ශනයට (IIJS) සහභාගී වූ අතර, බොම්බේ වාණිජ මණ්ඩලය ඇතුළු ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික සංවිධාන සමඟ සාකච්ඡා පවත්වමින් මෙරට ස්වාභාවික මැණික්වල ගුණාත්මකභාවය ලෝකයට හඳුන්වා දුන්හ.සංචාරය අතරතුර, ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ‘FACETS 2027’, ‘Gem Sri Lanka’ සහ ‘Gem City Rathnapura’ වැනි ජාත්‍යන්තර මැණික් ප්‍රදර්ශන ප්‍රවර්ධනය කිරීමට ද කටයුතු යොදා ඇත.එමෙන්ම, 2027 ජනවාරි මාසයේ කොළඹදී පැවැත්වීමට නියමිත ‘Sri Lanka Expo 2027’ ප්‍රදර්ශනය සඳහා සහභාගී වන ලෙස ඉන්දියානු සහ ජාත්‍යන්තර ප්‍රජාවට මෙහිදී විශේෂ ආරාධනාවක් සිදු කෙරිණි. නව තාක්ෂණික උපකරණ මෙන්ම විවිධ අංශවල නිරත ජාත්‍යන්තර ප්‍රදර්ශකයින්ට ද මෙම අපනයන ප්‍රදර්ශනයට එකතු වන ලෙස අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා මෙහිදී දැඩිව දිරිමත් කළේය.මෙම පුළුල් උපායමාර්ගික වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ අපනයන ක්ෂේත්‍රය ජාත්‍යන්තර මට්ටම ඉහළ නංවා ගැනීමටත්, ඉදිරි ජාත්‍යන්තර ප්‍රදර්ශන සඳහා ගෝලීය අවධානය දිනා ගැනීමටත් මාවත සැලසෙනු ඇත.



























