පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිසි ප්‍රමිතියෙන් තොර අටපිරිකර අලෙවි කරන වෙළඳුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට පියවර ගෙන තිබේ. වෙළඳපොළේ අලෙවි වන පිරිකරවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමේ අරමුණින් මෙම විශේෂ වැටලීම් සිදුකර ඇති අතර, ඉදිරියටත් එවැනි නීති විරෝධී වෙළඳ දැන්වීම් හා ජාවාරම්වලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව එම අධිකාරිය අවධාරණය කරයි.මේ වසර තුළ මේ දක්වා අටපිරිකර අලෙවිය සම්බන්ධයෙන් වැටලීම් 127ක් ක්‍රියාත්මක කර ඇති අතර, ඉන් වැටලීම් 119කම විවිධ අක්‍රමිකතා අනාවරණය වී ඇත. විශේෂයෙන්ම පසුගිය මාසයේදී වැටලීම් 35ක් සිදුකර තිබූ අතර, ඊයේ (10) දිනයේ පමණක් දිවයින පුරා වැටලීම් 92ක ප්‍රමාණයක් සිදුකරමින් වෙළඳසැල් පරීක්ෂාවට ලක් කර තිබේ.මෙම වැටලීම්වලදී අහඹු ලෙස විවෘත කර පරීක්ෂා කරන ලද අටපිරිකර තුළ දැඩි අඩුපාඩු හා අක්‍රමිකතා පවතින බව හෙළිවී ඇත. දෙපට සිවුර වෙනුවට තනිපට සිවුරු ඇතුළත් කිරීම, අටපිරිකරට අදාළ අංග අට සම්පූර්ණ නොවී තිබීම, නියමිත මිලට ගැළපෙන පරිදි භාණ්ඩ ඇතුළත් නොවීම මෙන්ම තැලී ගිය පාත්‍ර සහ මළ බැදුණු දැලි පිහි වැනි නුසුදුසු ද්‍රව්‍ය අඩංගු කර තිබීම නිලධාරීන්ගේ දැඩි අවධානයට ලක් විය.එම නිසා, සම්පූර්ණ අටපිරිකරක් මිලදී ගැනීමේදී එහි අන්තර්ගතය පිළිබඳව සැළකිලිමත් වන ලෙස පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින අතර, යම් අක්‍රමිකතාවක් හෝ ප්‍රමිතියෙන් තොර වීමක් නිරීක්ෂණය වුවහොත් කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි අංකය ඇමතීමෙන් ඒ පිළිබඳව තොරතුරු වාර්තා කරන ලෙස දන්වා සිටියි.



























