නැගෙනහිර පළාතේ පාසල් සිසුන්ට බෙදාදීමට තිබූ පෙළපොත් තොගයක් අස්ථානගත වීමෙන් පසු විමර්ශන ආරම්භ වෙයි

නැගෙනහිර පළාතේ පාසල් සිසුන් වෙත බෙදාහැරීම සඳහා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද රුපියල් ලක්ෂ අටකට අධික වටිනාකමකින් යුත් පෙළපොත් සහ ක්‍රියාකාරම් පොත් තොගයක් මගදී අස්ථානගත වීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක කර තිබේ. මෙම සිදුවීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා ද කරුණු තහවුරු කර ඇති අතර, සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් කිහිප දෙනෙකු මේ වන විටත් පොලිස් භාරයට ගෙන ඇත.​අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව සමඟ ගිවිසුම්ගතවූ බියගම ප්‍රදේශයේ ආයතනයක් මගින් පසුගිය මැයි මාසයේදී පොත් 19,892 කින් සමන්විත මෙම තොගය ප්‍රවාහනය කිරීමට භාරගෙන තිබුණි. කෙසේ වෙතත්, අදාළ පොත් තොගය නියමිත ගමනාන්තයට නිසි පරිදි ලැබී නොමැති බවට තොරතුරු අනාවරණය වීමත් සමඟ දෙපාර්තමේන්තු නිලධාරියෙකු විසින් තලංගම පොලිසියට මේ පිළිබඳව නිල වශයෙන් පැමිණිලි කරනු ලැබීය.​පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත්තේ, පොත් ප්‍රවාහනය කළ ලොරි රථයේ රියදුරු විසින් අදාළ පොත් තොගය බෝතල් පත්තර ව්‍යාපාරිකයෙකුට රුපියල් 47,000 ක මුදලකට නීතිවිරෝධී ලෙස අලෙවි කර ඇති බවයි. පසුව එම බෝතල් පත්තරකරු විසින් අදාළ පොත් තොගය පෑලියගොඩ පිහිටි පරණ කඩදාසි අඹරන ආයතනයකට විකුණා ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.​මේ වන විට පොලිසිය විසින් ලොරි රථ රියදුරු සහ පොත් මිලදී ගත් පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම ජාවාරමට සම්බන්ධ වෙනත් පුද්ගලයන් සිටී නම් ඔවුන් ද නීතියේ රැහුවට හසු කර ගැනීම සඳහා තලංගම පොලිසියේ වැඩිදුර විමර්ශන අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

What's your reaction?

Related Posts

1 of 1,285

Leave A Reply

Your email address will not be published. Required fields are marked *