පලෙයි රක්ෂිතය ගැන අසත්‍ය තොරතුරු පැතිර වූ පුද්ගලයා රිමාන්ඩ්

කිලිනොච්චිය, පලෙයි රක්ෂිතයේ තහනම් සංවිධානයකට අයත් පුහුණු කඳවුරක් සහ බෝම්බ නිෂ්පාදනාගාරයක් ඇති බවට අසත්‍ය ප්‍රවෘත්තියක් ප්‍රචාරය කළ සංගීත් ජයසේකර නමැත්තා ලබන 2 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය කළ ඉදිරිපත් කිරීම් සැලකිල්ලට ගනිමිනි.​තමාව අන්තර් මහාද්වීපික මානව හිමිකම් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂවරයා ලෙස හඳුන්වා දී ඇති සැකකරු, මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම ව්‍යාජ ප්‍රකාශය සිදු කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. එපමණක් නොව, ඔහු විවිධ ව්‍යාජ හැඳුනුම්පත් ද භාවිත කර ඇති බව පොලිසිය අධිකරණයට දන්වා තිබේ.​මෙම අසත්‍ය ප්‍රකාශය හේතුවෙන් මහජන කැලඹීමක් ඇති විය හැකි බැවින්, දණ්ඩ නීති සංග්‍රහයේ අදාළ වගන්ති යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. පලෙයි රක්ෂිතයේ සැබැවින්ම සිදුව ඇත්තේ ද්‍රවිඩ ජාතික ව්‍යාපාරිකයෙකු විසින් ගොවිපොලක් සහ ඇගළුම් කම්හලක් ඉදිකිරීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමක් බවත්, සැකකරුගේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බවත් පොලිස්පතිවරයා ද මීට පෙර ප්‍රතික්ෂේප කර තිබිණි.​මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා කිලිනොච්චි ප්‍රදේශයට විශේෂ කණ්ඩායමක් යවා ඇති බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය වැඩිදුරටත් සඳහන් කරයි. අදාළ ප්‍රදේශයේ ජනතාවගේ ව්‍යාපාරික කටයුතු හා සම්බන්ධ නඩු කටයුත්තක් පලෙයි පොලිසිය මඟින් මීට පෙරත් අධිකරණයට වාර්තා කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,292

Leave A Reply

Your email address will not be published. Required fields are marked *