පසුගිය ඉරිදා (12) දිනය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මොණරාගල, ළිඳේ කඩේ හංදිය ප්‍රදේශයේදී ලොරි රථයක් හා යතුරුපැදියක් ගැටීමෙන් යතුරුපැදිකරුවෙකු මියගිය අතර, මහනුවර-යාපනය මාර්ගයේ ගොවිපල හංදියේදී බස් රථයක ගැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්විය. අදාළ බස් රථයේ රියදුරු මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවේ.වැලිවේරිය, බියගම මාර්ගයේ 18 කණුව ප්‍රදේශයේදී සිදු වූ ත්‍රිරෝද රථ දෙකක ගැටුමකින් ද රියදුරෙකු මියගොස් ඇත. එම සිද්ධියට සම්බන්ධ අනෙක් රියදුරු වැලිවේරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන විමර්ශන සිදු කරමින් පවතී. මීට අමතරව, හොරණ-මීපේ මාර්ගයේ මිල්ලෑව ප්‍රදේශයේදී යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන් එහි ගමන් කළ පසුපැදිකරුවෙකු ද ජීවිතක්ෂයට පත්විය.යාපනය-මන්නාරම මාර්ගයේ පල්ලිකුඩා හංදියේදී බස් රථයක හා යතුරුපැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් ද පුද්ගලයෙකු මියගොස් ඇත. අනතුරින් යතුරුපැදිකරු සහ පසුපැදිකරු තුවාල ලබා රෝහල්ගත කළ ද, ප්‍රතිකාර ලබමින් සිටියදී පසුපැදිකරු මියගොස් තිබේ. මෙම සෑම අනතුරක් සම්බන්ධයෙන්ම අදාළ පොලිස් ස්ථාන මගින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇත.























