අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට සමගාමීව, 2026 වසරේ පළමු ශ්‍රේණියේ සිසුන් සඳහා වන දෙවන හා තෙවන වාරවලට අදාළ ක්‍රියාකාරකම් පොත් දිවයින පුරා බෙදාහැරීම මේ වන විට ආරම්භ කර තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ සැලසුම වන්නේ එළඹෙන අප්‍රේල් 30 වනදා වන විට මෙම පොත් බෙදාහැරීමේ කටයුතු සම්පූර්ණයෙන් නිම කිරීමයි. නව විෂය මාලාවට අදාළව ගුරුවරුන්, පුහුණුකරුවන් සහ විෂය අධ්‍යක්ෂවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන් ද දැනටමත් සාර්ථකව අවසන් කර ඇත.මෙම ක්‍රියාවලිය යටතේ ප්‍රාථමික අංශයේ ගුරු උපදේශකවරුන් ඇතුළු ක්ෂේත්‍රයේ නිලධාරීන් රැසකට අවශ්‍ය පුහුණුව ලබා දී ඇති අතර, ඉගෙනුම් ක්‍රියාවලිය වඩාත් ඵලදායී ලෙස පවත්වාගෙන යාම මෙහි අරමුණයි. යම් හෙයකින් පළමු වාරයේ විෂය නිර්දේශය ආවරණය කිරීමට අපහසු වූ පාසල් පවතින්නේ නම්, දෙවන වාරය තුළ එම කොටස් ද ඇතුළත්ව අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කිරීමට විදුහල්පතිවරුන් පියවර ගනු ඇතැයි අමාත්‍යාංශය අපේක්ෂා කරයි.පොත් බෙදාහැරීම කඩිනම් කිරීම හරහා සිසුන්ට බාධාවකින් තොරව තම අධ්‍යයන කටයුතු ඉදිරියට ගෙන යාමට අවස්ථාව සැලසේ. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා ප්‍රාථමික අධ්‍යාපනයේ ගුණාත්මක වර්ධනයක් ඇති කිරීම රජයේ අරමුණ වන අතර, මෙම ක්‍රියාකාරකම් පොත් මාලාව ඒ සඳහා මහෝපකාරී වනු ඇත.























