ප්‍රවීණ රංගවේදිනී මාලිනී ෆොන්සේකා නමින් ගුරුකුලයේ නව රංග ශාලාව විවෘත කෙරේ

සිංහල සිනමාවේ මහා නිළිය ලෙස අභිෂේක ලත් දිවංගත මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මියගේ 79 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ඇය අධ්‍යාපනය ලැබූ කැලණිය ගුරුකුල විද්‍යාලයේදී විශේෂ උපහාර උළෙලක් ඉකුත් 30 වැනිදා පැවැත්විණි. විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද මෙම උත්සවයේදී මාලිනියගේ සිනමා මෙහෙවර අගය කරමින් විද්‍යාලයීය නවීකරණය කරන ලද රංග ශාලාව “මාලිනී ෆොන්සේකා රංග ශාලාව” ලෙස නිල වශයෙන් නම් කිරීම සිදු විය. එසේම එම පරිශ්‍රයේ ස්ථාපිත කරන ලද ඇයගේ උඩුකය ප්‍රතිමාව සහ සමරු ඵලකය විවෘත කිරීමද මෙහිදී සිදුවූ විශේෂාංගයකි.​මෙම අනුස්මරණ අවස්ථාවට මාලිනී ෆොන්සේකා මහත්මියගේ සමීපතමයන් සහ කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් සහභාගී වූහ. ඒ අතර මාලිනියගේ සොහොයුරියක වන දමයන්ති ෆොන්සේකා මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන් මෙන්ම විද්‍යාලයීය ආදි ශිෂ්‍ය ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් අත්තනායක මහතාද එක්ව සිටියහ. තවද ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි, විශාරද එඩ්වඩ් ජයකොඩි සහ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනී ශ්‍රියානී මහවත්ත ඇතුළු කලාකරුවන් රැසක් සිය ආදරණීය සගයා වෙනුවෙන් ගෞරව දැක්වීමට පැමිණ සිටියහ.​තම මාතෘ පාසලට සහ හෙළ සිනමාවට මාලිනී ෆොන්සේකා මහත්මිය ඉටුකළ අනභිභවනීය සේවාව සදාකාලිකව සැමරීම මෙහි ප්‍රධාන අරමුණ විය. පාසල් අවධියේ සිටම ඇය දැක්වූ කුසලතාවයන් සිහිපත් කරමින් පැවැත්වූ මෙම උපහාර උත්සවය, කලා ලෝකයේ මෙන්ම ගුරුකුල විද්‍යාල ඉතිහාසයේද සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. වසර ගණනාවක් පුරා රිදී තිරය හැඩ කළ ඇයගේ රංගන ප්‍රතිභාව අනාගත පරපුරට පවා ආදර්ශයක් වන අයුරින් මෙලෙස ගෞරවාදරයට පාත්‍ර විය.

What's your reaction?

Related Posts

1 of 1,121

Leave A Reply

Your email address will not be published. Required fields are marked *