පාරිභෝගික නීති උල්ලංඝනය කළ බැරිස්ටා ආයතනයට දඩ

පාරිභෝගික ආරක්ෂණ නීති උල්ලංඝනය කිරීමේ චෝදනා හතරකට වරදකරු වීම හේතුවෙන් ‘බැරිස්ටා කොෆී ලංකා’ (Barista Coffee Lanka Pvt Ltd) ආයතනයට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 400,000ක දඩයක් නියම කර තිබේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ (CAA) බදුල්ල දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකින් පසුව මෙම නඩුව පවරා තිබුණි. එහිදී අනාවරණය වූ කරුණු මත අදාළ සමාගම අධිකරණය ඉදිරියේ සිය වරද පිළිගෙන ඇත.​මිල, බර, නිෂ්පාදිත සහ කල් ඉකුත්වීමේ දිනයන් වැනි අනිවාර්ය තොරතුරු සඳහන් ලේබල් නොමැතිව කේක් සහ බිස්කට් වර්ග අලෙවි කිරීම ඇතුළු චෝදනා කිහිපයක් මෙම ආයතනයට එරෙහිව එල්ල වී තිබුණි. මීට අමතරව කල් ඉකුත් වූ බිස්කට් වර්ග අලෙවිය සඳහා තබා තිබීමත්, ආහාර පාන පිළියෙළ කිරීම සඳහා කල් ඉකුත් වූ ද්‍රව්‍ය ශීතකරණ සහ ගබඩා තුළ රඳවා තබා ගනිමින් පාරිභෝගිකයන් නොමග යැවීමත් ඔවුන් විසින් සිදුකර ඇති බව මෙහිදී තහවුරු විය.​ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේදී නිෂ්පාදන තොරතුරු, මිල සහ කල් ඉකුත්වීමේ දින පිළිබඳව නිරන්තරයෙන් අවධානය යොමු කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. වෙළෙඳපොළ තුළ මෙවැනි පාරිභෝගික අයිතිවාසිකම් උල්ලංඝනය වන ඕනෑම අවස්ථාවක් පිළිබඳව වහාම ක්‍රියාත්මක වන පරිදි තම අධිකාරියේ 1977 ක්ෂණික ඇමතුම් අංකය අමතා තොරතුරු වාර්තා කරන ලෙසද ඔවුන් වැඩිදුරටත් දැනුම් දෙයි.

What's your reaction?

Related Posts

1 of 1,183

Leave A Reply

Your email address will not be published. Required fields are marked *