දැරණියගල, නූරිය සහ මාලිබොඩ යන ප්‍රදේශවල පාසල් දරුවන් සහ ඇඟලුම් සේවකයින් ඉලක්ක කරගනිමින් පවත්වාගෙන ගිය මහා පරිමාණ මත්පෙති ජාවාරමක් වටලා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට දැරණියගල නූරිය පොලිසිය සමත්ව තිබේ. එහිදී රුපියල් ලක්ෂ 30කට ආසන්න වටිනාකමකින් යුත් PREGABALIN වර්ගයේ මත්පෙති 12,120ක් පොලිස් භාරයට ගෙන ඇත. එක් මත්පෙත්තක් රුපියල් 250ත් 300ත් අතර මිලකට මොවුන් අලෙවි කර ඇති බව අනාවරණය වේ.මෙම වැටලීම ආරම්භ වූයේ ඊයේ (11) දින දැරණියගල ප්‍රදේශයේ පදිංචි ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමත් සමඟයි. ඔහුගෙන් ලද තොරතුරු මත, මත්පෙති තොගය බෙදාහැරීමට පැමිණි දෙවන සැකකරුවාව මත්පෙති 700ක් ද සමඟ අවිස්සාවේල්ල නගරයේදී කොටු කර ගැනීමට පොලිසිය සමත් විය. පසුව සිදුකළ වැඩිදුර පරීක්ෂණවලදී, දෙහිවල ප්‍රදේශයේ ඔහු පදිංචිව සිටි නිවසේ සඟවා තිබූ තවත් මත්පෙති 11,420ක තොගයක් සොයාගැනීමට හැකි වී තිබේ.පොලිස් විමර්ශනවලට අනුව, මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු මීට වසර දෙකකට පෙර ප්‍රසිද්ධ ඖෂධ සමාගමක බෙදාහැරීමේ නිලධාරියෙකු ලෙස සේවය කර ඉවත් වූ අයෙකි. එම කාලය තුළ ඔහු ඇති කරගත් සබඳතා උපයෝගී කරගනිමින්, කිසිදු බලපත්‍රයකින් තොරව මෙම ඖෂධ තොග ලබාගෙන ජාවාරමේ නිරත වී ඇති බව හෙළි වී ඇත. ඖෂධයක් ලෙස භාවිත වන මෙම පෙති අවභාවිත කරමින් තරුණ පරපුර මත් ගොදුරක් කර ගැනීමට මොවුන් සැලසුම් කර තිබිණි.නූරිය පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ මෙහෙයවීම යටතේ සිදුකළ මෙම සාර්ථක වැටලීම නිසා ප්‍රදේශයේ පාසල් දරුවන් වෙත ගලා යාමට තිබූ භයානක මත්ද්‍රව්‍ය තොගයක් නීතියේ රැහැනට හසු කර ගැනීමට හැකි විය. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ මත්පෙති තොගය අද දින අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.සමාජයට මහත් උවදුරක් වූ මෙම මත්පෙති ජාවාරම පිටුපස සිටින සෙසු පුද්ගලයන් සොයා පොලිසිය තවදුරටත් පුළුල් විමර්ශන පවත්වයි. විශේෂයෙන්ම තරුණ පිරිස් සහ පාසල් දරුවන් මෙවැනි මත්පෙති සඳහා යොමු වීම වළක්වා ගැනීමට දෙමාපියන් සහ ගුරුවරුන් වැඩි අවධානයකින් පසුවිය යුතු බව පොලිසිය වැඩිදුරටත් අවධාරණය කරයි.






















