පාස්කු විමර්ශන ලිපිගොනු සඟවන අයට රැකවරණය දෙන බවට නාමල්ගෙන් චෝදනා

වත්මන් රජය බලයට පත්වීමෙන් පසු පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන ලිපිගොනු සහ බුද්ධි වාර්තා සඟවා වගකීම් පැහැරහැරි නිලධාරීන්ට ඉහළ තනතුරු පිරිනමමින් ඔවුන්ව ආරක්ෂා කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. කැකිරාව ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමින් ඒ මහතා කියා සිටියේ, රට වෙනුවෙන් සේවය කළ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ වැනි නිලධාරීන්ව ආණ්ඩුව විසින් දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව සිරගත කර තබාගෙන සිටින බවයි. පසුගිය යහපාලන සමයේදී මෙන්ම වත්මන් පාලනය ද විදේශීය වුවමනාවන් මත රටේ බුද්ධි අංශ පද්ධතිය දුර්වල කරමින් සිටින බවත්, ප්‍රහාරය එල්ල වන සමයේ මරාගෙන මැරුණු ත්‍රස්තවාදීන්ගේ පියවරුන් සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවේ මිස තමන් සමඟ නොවන බවත් ඔහු සිහිපත් කළේය.​ආණ්ඩුවේ අදූරදර්ශී ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් ගොවීන්, ධීවරයන් සහ කම්කරුවන් දැඩි ලෙස අසරණ වී ඇති බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුගේ ලාභය වෙනුවෙන් පිටරටින් එළවළු සහ හාල් ගෙන්වමින් දේශීය කෘෂිකර්මාන්තය විනාශ කරමින් පවතින බවට ද චෝදනා කළේය. මේ වන විට මහ කන්නයට අවශ්‍ය පොහොර පිළිබඳව හෝ ගොවීන්ට සහන සැලසීම සම්බන්ධයෙන් පාලකයන්ට කිසිදු සැලැස්මක් නොමැති අතර, වෙළඳපොළේ පොහොර මිටියක් රුපියල් 18,000 සිට 25,000 දක්වා ඉහළ මිල ගණන් යටතේ කළු කඩයේ විකිණෙන තත්ත්වයක් උදාවී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.​මැතිවරණ සමයේ උපාධිධාරීන්ට රැකියා දෙන බවට දුන් පොරොන්දු ඉටු නොකර අද වන විට ඔවුන්ව පන්නා දැමීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය. ආණ්ඩුවේ මෙවැනි අසත්‍ය ප්‍රකාශ හමුවේ ජනතාව තවදුරටත් නොරැවටෙන බව පැවසූ ඒ මහතා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස තමන් අතින් ඉතිහාසයේ සිදු වූ අඩුපාඩු සකස් කරගනිමින්, රට, ජාතිය සහ දේශීය නිෂ්පාදකයා සුරකින නූතන පරම්පරාවේ ප්‍රගතිශීලී දේශපාලන බලවේගය ලෙස ගම් මට්ටමින් නැවත ශක්තිමත්ව පෙරට එන බව ද අවධාරණය කළේය.

What's your reaction?

Related Posts

1 of 1,179

Leave A Reply

Your email address will not be published. Required fields are marked *