“මනසින් සවිමත් – දරුවන් පොහොසත්” යන තේමාව යටතේ මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් අද (25) සිට ඔක්තෝබර් 01 දක්වා දින කිහිපයක් ලෝක ළමා දින ජාතික සතිය ලෙස නම් කර ඇතැයි කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් ප්‍රකාශ කළාය. දරුවන්ගේ අයිතිවාසිකම්, සෞඛ්‍යය, සහ ආරක්ෂාව සුරක්ෂිත කිරීම මෙන්ම මන්දපෝෂණ තත්ත්වයන් පිටුදැකීම මෙම සැමරුමේ ප්‍රධාන අරමුණ වේ.මෙම සතිය තුළ දරුවන්ට අදාළ නව පනත් හඳුන්වාදීම, ළමා සංවර්ධන මධ්‍යස්ථානවල දරුවන්ගේ සුවතාව නංවාලීමේ වැඩසටහන්, වෘත්තීය පුහුණු හා රැකියා වෙළෙඳපොළ නියමු ව්‍යාපෘති මෙන්ම ගුරුවරුන් හා දෙමාපියන් දැනුවත් කිරීමේ විශේෂ සැසිවාර රැසක් ක්‍රියාත්මක වේ. ජාතික උත්සවය ඔක්තෝබර් 01 වන දින පෙරවරු 9.00 ට අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මත්තේගොඩ පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව ඇත.



























