කිරිඳිවැල, නාරංගස්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි විශ්‍රාමික යුද හමුදා සෙබළෙකු 2018 වසරේ සැප්තැම්බර් මස පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියකට අදාළව ප්‍රධාන සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස්පතිවරයා වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව දීර්ඝ විමර්ශනයක් සිදුකළ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (08) දින නිට්ටඹුව, රණ්පොකුණුගම ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර ඇත.අත්අඩංගුවට පත් සැකකරු 47 හැවිරිදි රණ්පොකුණුගම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර, ඔහු සන්තකයේ තිබී නීතිවිරෝධී ගිනිඅවි සහ පතරොම් තොගයක් ද පොලිස් භාරයට ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකි වී තිබේ. ඒ අතර විදේශ රටක නිෂ්පාදිත පෑනක හැඩය ගත් කුඩා ගිනිඅවියක්, ඊට යොදන පතරොම් 5ක්, ටී-56 පතරොම් 4ක්, මිලිමීටර් 9 වර්ගයේ පතරොම් 8ක් සහ බෝර 12 වර්ගයේ පතරොම් 2ක් ද ඇතුළත් වේ.මෙම පැහැරගැනීමේ සිදුවීම පිටුපස ඇති අරමුණ සහ සැකකරු සතුව තිබූ ගිනිඅවි වෙනත් අපරාධ සඳහා යොදාගෙන තිබේද යන්න සෙවීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය මේ වන විට වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

























