පුත්තලම දිස්ත්‍රික්කයේ නීතිය හා අමාත්‍යංශ මට්ටමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා විශේෂ හමුවක් හලාවතදී පැවැත්වුණේ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙනි. හලාවත සහ පුත්තලම පොලිස් කොට්ඨාසවල සේවයේ නියුතු නිලධාරීන් මුහුණ දෙන වෘත්තීයමය මෙන්ම පෞද්ගලික ගැටලු හඳුනාගෙන ඒවාට කඩිනම් පිළියම් යෙදීම මෙම සාකච්ඡාවේ මූලික අරමුණ විය. මෙහිදී නිලධාරීන්ගේ සේවා ස්ථානවල පවතින දුෂ්කරතා මෙන්ම, පොලිස් සේවය සම්බන්ධයෙන් මහජනතාවගෙන් ලැබී ඇති පැමිණිලි පිළිබඳවද දීර්ඝ වශයෙන් කරුණු විමසා බැලීමට අමාත්‍යවරයා පියවර ගත්තේය.වත්මන් රජයේ ප්‍රතිපාදන යටතේ වයඹ පළාත තුළ ක්‍රියාත්මක වන පොලිස් යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය පිළිබඳව වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විසින් මෙහිදී පැහැදිලි කරන ලද අතර, එම ප්‍රගතිය අමාත්‍යවරයාගේ ඇගයීමට ලක්විය. තවද, රැස්වීමට පැමිණි නිලධාරීන්ට තමන් මුහුණ දෙන ගැටලු සෘජුවම ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසුණු අතර, විශේෂයෙන්ම ස්ථාන මාරුවීම් සහ උසස්වීම් සම්බන්ධයෙන් මතු වූ ප්‍රශ්නවලට එම ස්ථානයේදීම කඩිනම් විසඳුම් ලබා දීමට අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය.දිස්ත්‍රික්කය තුළ සිදුවන නීතිවිරෝධී ක්‍රියා මැඩපැවැත්වීම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ අමාත්‍ය විජේපාල මහතා, මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සහ සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීමේ වත්මන් ප්‍රගතියද ඇගයීමට ලක් කළේය. මහජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත් විය හැකි ආරක්ෂිත වටපිටාවක් නිර්මාණය කිරීම උදෙසා උපරිම කැපවීමෙන් කටයුතු කරන ලෙස ඔහු නිලධාරීන්ට අවධාරණය කළේය. මෙම අවස්ථාවට පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් රැසක් ද එක්ව සිටියහ.

























