පුත්තලමේ පානීය ජල ගැටලුවට කඩිනම් විසඳුම් සෙවීමට විශේෂ සාකච්ඡාවක්

පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක පවතින බරපතළ පානීය ජල හිඟයට විසඳුම් සෙවීම සඳහා ක්‍රියාත්මක වන “කලා ඔය” සහ “මා ඔය” ජල සම්පාදන ව්‍යාපෘතිවල ගැටලු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (25) අදාළ අමාත්‍යාංශයේදී පවත්වා තිබේ. පසුගිය මැයි 14 වනදා පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලද කරුණු සැලකිල්ලට ගනිමින් මෙම හදිසි රැස්වීම කැඳවා ඇත. විශේෂයෙන්ම කල්පිටිය, පුත්තලම, මුන්දලම, දංකොටුව සහ වෙන්නප්පුව ඇතුළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක ජනතාව මුහුණ දෙන ජල අර්බුදය මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන් විය.​මෙම ව්‍යාපෘති කඩිනමින් ඉදිරියට ගෙනයාමට ඇති පාරිසරික හා තාක්ෂණික බාධා ඉවත් කිරීම සම්බන්ධයෙන් විවිධ රාජ්‍ය ආයතන අතර පැවති මතභේද රැසකට මෙහිදී එකඟතාවන් ඇති කරගෙන තිබේ. ඒ අනුව, අවශ්‍ය පාරිසරික වාර්තාවලට අනුකූල වෙමින්, ජල සම්පාදන මණ්ඩලය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව කටයුතු කිරීමට එකඟ වී ඇත. අමාත්‍යවරයාගේ මැදිහත් වීමෙන් සිදුවූ මෙම සාධනීය තීරණ හේතුවෙන් ප්‍රදේශවාසීන්ට කඩිනමින් පිරිසිදු පානීය ජලය ලබාදීමේ අවස්ථාව උදාවනු ඇත.​විෂයභාර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම විශේෂ සාකච්ඡාව සඳහා පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් ෆයිසාල් මහතා මෙන්ම ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ. මීට අමතරව, වාරිමාර්ග හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවල අධ්‍යක්ෂ ජනරාල්වරුන් ඇතුළු උසස් රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද මේ සඳහා එක්ව සිටියහ.

What's your reaction?

Related Posts

1 of 1,159

Leave A Reply

Your email address will not be published. Required fields are marked *