පෙරපාසල් දරුවන්ට විධිමත් පෝෂණ වැඩසටහනක අවශ්‍යතාව විපක්ෂ නායකයා පෙන්වා දෙයි

වත්මන් දැඩි ආර්ථික සහ සමාජීය අභියෝග හමුවේ වුවද, දරුවන්ගේ මූලික අවශ්‍යතා සපුරාදීමේ වගකීම දෙමාපියන් ඇතුළු සමස්ත සමාජයම පැහැර නොහැරිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. කුලියාපිටිය නගර සභා ශ්‍රවණාගාරයේ පැවැති පෙරපාසල් දරුවන් 550 දෙනෙකු සඳහා පාසල් බෑග් බෙදාදීමේ උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, දරුවන්ගේ නිසි පෝෂණය, සෞඛ්‍යය සහ අධ්‍යාපනය වැනි අයිතිවාසිකම් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් රාමුවටම ඇතුළත් කළ යුතු බව පෙන්වා දුන්නේය.​හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා මෙරට පාසල් දරුවන් වෙනුවෙන් නිල ඇඳුම් සහ දිවා ආහාරය ලබාදීමේ ජාතික ප්‍රතිපත්තිය මුලින්ම හඳුන්වා දුන් බව සිහිපත් කළ විපක්ෂ නායකවරයා, පවතින ආර්ථික දුෂ්කරතා සලකා බලා අවම වශයෙන් සියලුම පෙරපාසල් දරුවන් සඳහා හෝ කඩිනමින් විධිමත් පෝෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය. දේශයේ අනාගතය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ළමා පරපුරට උපරිම රැකවරණය සහ ආදරය සැපයීමට සැමදෙනාම එක්විය යුතු බව ද ඔහු සඳහන් කළේය.​එමෙන්ම මෙරට දැනට පවතින මුල් ළමාවිය සංවර්ධන වැඩසටහන් පළාතෙන් පළාතට වෙනස් වන අවිධිමත් ස්වභාවයක් ගන්නා බව විවේචනය කළ සජිත් ප්‍රේමදාස මහතා, ඊට පිළියමක් ලෙස ජාත්‍යන්තරය පවා පිළිගත් “K to 12” (Kindergarten to Grade 12) සංකල්පය මෙරටට ගැලපෙන සේ ව්‍යූහාත්මකව සකස් කළ යුතු බව ප්‍රකාශ කළේය. මුල් ළමාවිය අධ්‍යාපනයේ සිට 12 ශ්‍රේණිය දක්වා වූ සමස්ත අධ්‍යාපන ක්‍රමයම එකම ප්‍රමිතියකට අනුව ශක්තිමත් කිරීම කාලීන අවශ්‍යතාවක් බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

What's your reaction?

Related Posts

1 of 1,155

Leave A Reply

Your email address will not be published. Required fields are marked *