බන්ධනාගාර තදබදයට ආණ්ඩුව වගකිව යුතුයි – නාමල් රාජපක්ෂ

වත්මන් රජය දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් මාධ්‍ය සංදර්ශන පවත්වමින් විශාල පිරිසක් බන්ධනාගාරගත කිරීම හේතුවෙන් බන්ධනාගාර පද්ධතිය තුළ දැඩි තදබදයක් නිර්මාණය වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි. නෙළුම් මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, අටසියයක ධාරිතාවක් සහිත බන්ධනාගාරවලට හාරදහසක් පමණ රැඳවියන් ඇතුළත් කිරීම නිසා පවතින ගැටලුකාරී තත්ත්වය ඉතා බරපතළ බවයි.​බන්ධනාගාර තදබදයට ප්‍රධාන හේතුවක් ලෙස මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩුවලදී රස පරීක්ෂක වාර්තා ලබා ගැනීමට වසර ගණනාවක් ගත වීම ඔහු පෙන්වා දුන්නේය. මෙම ප්‍රමාදය නිසා වරදක් නොමැති පුද්ගලයින්ට පවා දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරයේ රැඳී සිටීමට සිදුව ඇත. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම වෙනුවට සියල්ලන්ම සිරගත කිරීමේ ක්‍රියාවලිය මෙන්ම, බන්ධනාගාරවල යටිතල පහසුකම් වැඩිදියුණු නොකිරීම සහ කාර්ය මණ්ඩල බඳවා නොගැනීම සම්බන්ධයෙන්ද ඔහු ආණ්ඩුවට චෝදනා කළේය.​තම පක්ෂයේ මන්ත්‍රීවරුන් බන්ධනාගාර නිරීක්ෂණයට යන විට සිරගත කර සිටින හමුදා, පොලිස් සහ බුද්ධි අංශ සාමාජිකයන් මුහුණ දෙන අසීරු තත්ත්වයන් දැකගැනීමට හැකි බව මන්ත්‍රීවරයා කීවේය. එබැවින් දේශපාලන අරමුණු වෙනුවෙන් මිනිසුන් සිරගත කරමින් මාධ්‍ය සංදර්ශන පැවැත්වීම නවතා, වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙස ඔහු රජයට අවධාරණය කළේය.

What's your reaction?

Related Posts

1 of 1,239

Leave A Reply

Your email address will not be published. Required fields are marked *