දිවයින පුරා ධාවනය වන සියලුම මගී ප්‍රවාහන බස් රථ සඳහා සෑම කිලෝමීටර් 5,000ක ධාවනයකින් පසුව තත්ත්ව පරීක්ෂාවක් සිදු කිරීම අනිවාර්ය කිරීමට පියවර ගෙන ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි. පසුගිය සමයේ සිදුවූ මාර්ග අනතුරුවලට රියදුරන්ගේ නොසැලකිල්ල මෙන්ම වාහනවල පැවැති යාන්ත්‍රික දෝෂද හේතු වී ඇති බව හඳුනාගෙන තිබීම මෙම තීරණයට හේතු වී තිබේ.මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න මහතා පෙන්වා දෙන්නේ, මෙලෙස වරින් වර වාහනවල පවතින කාර්මික දෝෂ නිසි ලෙස හඳුනාගෙන පිළිසකර කර ගැනීම තුළින් සිදුවීමට ඉඩ ඇති අනතුරු අවම කරගත හැකි බවයි.මේ අතර, පෞද්ගලික බස් කර්මාන්තය මුහුණ දෙන අර්බුද පිළිබඳව අදහස් දක්වමින් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා චෝදනා කරන්නේ, රජය විසින් නව බස් රථ ආනයනය කිරීමට ගන්නා උත්සාහය පිටුපස පෞද්ගලික බස් රථ ක්ෂේත්‍රය අඩපණ කිරීමේ යටි අරමුණක් පවතින බවයි.























