විද්‍යාඥයන් විසින් බොලිවියාවේ ඝන වනාන්තර ප්‍රදේශයකින් ගෘහස්ථ බළලෙකුගේ ප්‍රමාණයට සමාන නව වල් බළල් විශේෂයක් සොයාගෙන ඇති අතර, එය ‘ලියෝපාර්ඩස් ටිල්කායෝ’ (Leopardus tilcayo) ලෙස නම් කර ඇත. මීට පෙර මෙම සත්වයා වෙනත් විශේෂ ලෙස වරදවා වටහාගෙන තිබුණද, මෑතකදී සිදුකළ ඩී.එන්.ඒ. (DNA) පරීක්ෂණ මගින් මෙය සම්පූර්ණයෙන්ම වෙනස් නව සත්ව විශේෂයක් බව විද්‍යාඥයෝ තහවුරු කළහ.මෙම නව විශේෂයට අයත් ලොව ජීවත්ව සිටින එකම සත්ත්වයා ලෙස සැලකෙන, ‘ටිග්‍රිනෝ’ (Tigrino) ලෙස අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන වයස අවුරුදු 10ක බළලා මුලින් හමුවී ඇත්තේ දේශීය ගෘහස්ථ බළල් පැටවෙකු ලෙස සිතූ ප්‍රදේශවාසිකයෙකුටය. කෙසේ වෙතත්, සත්ත්වයා වැඩෙත්ම එහි හැසිරීම් රටාවන්හි ඇති වූ වෙනස්කම් හේතුවෙන් විද්‍යාඥයන්ගේ අවධානය යොමුවී ඇත. ‘Current Biology’ සඟරාවේ පළ වූ මෙම අධ්‍යයනයත් සමඟ ටයිගර් කැට් කාණ්ඩයට අයත් විශේෂ සංඛ්‍යාව තුනේ සිට පහ දක්වා ඉහළ ගොස් ඇති අතර, සමස්ත බළල් විශේෂ සංඛ්‍යාව ද 44 හෝ 45 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, වනාන්තර එළිපෙහෙළි වීම් සහ නීති විරෝධී දඩයම් කිරීම් නිසා මෙම සතුන් දැඩි තර්ජනයකට මුහුණ දී සිටී.



























