නිල සංචාරයක් සඳහා භූතානයේ තිම්පූ නුවර වෙත ගොස් සිටින අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ භූතාන රජු වන ජිග්මේ කේසාර් නම්ගියෙල් වංචුක් මහතා අතර හමුවක් පවත්වා තිබේ. තිම්පූහි ටාෂිචොඩ්සොං මාලිගයේදී පැවති මෙම හමුවේදී, භූතානයේ අනාගත සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ අත්දැකීම් සහ විශේෂඥ දැනුම ලබා ගැනීමට භූතානය සිය දැඩි කැමැත්ත පළ කර ඇත. අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයකට අනුව, ද්විපාර්ශ්වික සහයෝගීතාව පුළුල් කරගැනීමේ අවස්ථා මෙන්ම භූතානයේ සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කර තිබේ.දෙරට අතර ආයෝජන ප්‍රවර්ධනය කිරීම සහ භූතානය තුළ ආයෝජන කලාපයක් ස්ථාපිත කිරීමේ හැකියාව සම්බන්ධයෙන් ද නායකයන් දෙපළගේ අවධානය යොමුව ඇත. මීට අමතරව, තරුණ පරපුර විදෙස්ගත වීම වැඩිවීම හේතුවෙන් භූතානයට මුහුණ දීමට සිදුව ඇති ජනගහන අභියෝග සහ එහි අනාගත ශ්‍රම බලකායට එල්ල විය හැකි බලපෑම් පිළිබඳව ද සාකච්ඡා කර තිබේ. තිරසාර සංවර්ධනයටය සහයෝගය දැක්වීම සඳහා දෙරටේ අත්දැකීම් සහ හොඳම අභ්‍යාස හුවමාරු කර ගනිමින් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ වැදගත්කම මෙම හමුවේදී අවධාරණය කර ඇත.


























