මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැලෙන කිසිදු පාර්ශ්වයකට ඉදිරියේදී කිසිදු සමාවක් ලබාදීමට රජය සූදානම් නැති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි. මහර බන්ධනාගාර පරිශ්‍රයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළ අතර, දූෂණය හා වංචාව රටින් තුරන් කිරීම සඳහා ජනතාවගෙන් ප්‍රබල ජනවරමක් ලැබී ඇති බවද ඔහු අවධාරණය කළේය.පසුගිය කාලය පුරා දැඩි ගැටළුවක්ව පැවති රස පරීක්ෂක වාර්තා ලබා දීමේ ප්‍රමාදයන් මඟහරවා ගැනීම සඳහා මේ වන විට අවශ්‍ය පියවර රැසක් ගෙන ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඒ සඳහා නව බඳවා ගැනීම් සිදුකර නිලධාරීන් රාත්‍රී කාලය දක්වා සේවයේ යෙදවීමට කටයුතු කර ඇති අතර, අගෝස්තු මාසය තුළ පමණක් වාර්තා 9,080කට අධික ප්‍රමාණයක් නිකුත් කර තිබේ.ඉදිරි මාස දෙක ඇතුළත දැනට පවතින සියලුම රස පරීක්ෂක වාර්තා නිකුත් කර අවසන් කිරීම රජයේ අපේක්ෂාව බවද හර්ෂණ නානායක්කාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය. බන්ධනාගාර තුළ හදිසි තත්ත්වයන්ට මුහුණ දීමේ ඒකාබද්ධ යාන්ත්‍රණය සහ රැඳවියන්ගේ සුබසාධන කටයුතු විධිමත් කිරීම මෙම සාකච්ඡාවේ අනෙක් ප්‍රධාන අරමුණ විය.


























