ශ්‍රී ලංකාවේ ප්‍රධානතම දුම්රිය මධ්‍යස්ථානයක් වන මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර සාර්ථකව අවසන් කර මගී අයිතියට පවරා දී තිබේ. “Clean Sri Lanka” ජාතික වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක “සිහින ගමනාන්තය” ව්‍යාපෘතිය යටතේ සිදුකෙරෙන මෙම ප්‍රතිසංස්කරණ කටයුතු අද (26) ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය. දුම්රිය දෙපාර්තමේන්තුව, පෞද්ගලික අංශය සහ සිවිල් සංවිධාන එක්ව ක්‍රියාත්මක කරන මෙම වැඩපිළිවෙළ මගින් දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමට අපේක්ෂිතය.රුපියල් මිලියන 35ක පිරිවැයක් දරා මාස හයක් වැනි කෙටි කාලයක් තුළ නිම කළ මෙම ව්‍යාපෘතියේ විශේෂත්වය වන්නේ, වසර සියයකට වඩා පැරණි ඓතිහාසික ගොඩනැගිල්ල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සෘජු අධීක්ෂණය යටතේ සංරක්ෂණය කිරීමයි. දශක ගණනාවක් තිස්සේ මගීන්ට පීඩාවක් ගෙන දුන් දුම්රිය ස්ථාන වහලයේ දිය කාන්දු වීමේ ගැටලුවට මෙහිදී ස්ථිර විසඳුම් ලබා දී ඇත. විශේෂයෙන්ම වර්ග අඩි 2,000කට අධික උඩු මහලේ කොන්ක්‍රීට් වහලය සම්පූර්ණයෙන්ම ජල කාන්දු නොවන (Waterproof) අයුරින් ප්‍රතිසංස්කරණය කර තිබේ.මගී ආරක්ෂාව සහ පහසුව වෙනුවෙන් නවීන ආරක්ෂක කැමරා පද්ධති (CCTV), කාර්යක්ෂම ආලෝක පද්ධති සහ උසස් තත්ත්වයේ සනීපාරක්ෂක පහසුකම් මෙහි අලුතින් ස්ථාපනය කර ඇත. මීට අමතරව ගොඩනැගිල්ලේ අභ්‍යන්තර හා බාහිර තීන්ත ආලේප කර පිරිසිදු කිරීම මෙන්ම අවට පරිසරය අලංකරණය කිරීම ද මෙම අදියර යටතේ සිදු විය. දේශීය හා විදේශීය සංචාරකයන් විශාල පිරිසක් ගැවසෙන මධ්‍යස්ථානයක් ලෙස මෙහි සෞන්දර්යාත්මක මෙන්ම ක්‍රියාකාරී ගුණාත්මකභාවය ඉහළ නැංවීමට බලධාරීන් පියවර ගෙන තිබේ.මෙම සමාරම්භක අවස්ථාවට එක් වූ අමාත්‍යවරයා අලුතින් එක් කළ පහසුකම් නිරීක්ෂණය කළ අතර, මරදාන දුම්රිය ස්ථානයේ ඉදිරි නවීකරණ අදියරයන් ද කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. පොදු ප්‍රවාහන සේවයේ ගුණාත්මක වෙනසක් ඇති කිරීම අරමුණු කරගත් මෙම ව්‍යාපෘතිය හරහා දුම්රිය මගීන්ට වඩාත් ප්‍රසන්න සහ පහසු ගමන් අත්දැකීමක් ඉදිරියේදී සමීප වනු ඇත.

























