මල්වානේ සුවිසල් නිවස UGC එකට පවරන්න අගමැතිනියගෙන් තීරණයක්

ජනතා බදු මුදල් කොල්ලකමින් උපයාගත් දේපළ යළි මහජන අයිතියට පවරන ලෙස ඉල්ලමින්, මල්වානේ පිහිටි සුවිසල් නිවසට පසුගිය 14 වැනිදා ඇතුළු වූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ (අන්තරේ) සිසුන් අද (18) එම පරිශ්‍රයෙන් ඉවත් වීමට පියවර ගෙන තිබේ. සිසුන් මෙම තීරණයට එළැඹුණේ අදාළ දේපළ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) වෙත පවරා ගැනීමට කටයුතු කරන බවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ලබා දුන් නිල සහතිකයත් සමඟය.​පසුගිය දින කිහිපය පුරාම සිසුන් එම පරිශ්‍රයේ රැඳී සිටිමින් විරෝධතාවල නිරත වූ අතර, ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම වූයේ මෙම දේපළ විශ්වවිද්‍යාලයක පොදු අවශ්‍යතාවක් වෙනුවෙන් පවරා දෙන ලෙසයි. මේ පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ අග්‍රාමාත්‍යවරිය සහ විරෝධතාවයේ නිරත සිසුන් අතර විශේෂ සාකච්ඡාවක් අද දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වුණි.​එහිදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කළේ, අදාළ ඉඩම සහ නිවස වහාම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පවරාගෙන, විධිමත් ශක්‍යතා අධ්‍යයනයකින් පසුව සුදුසු උසස් අධ්‍යාපන ආයතනයක ප්‍රයෝජනය සඳහා අනුයුක්ත කිරීමට රජය කටයුතු කරන බවයි. විශ්වවිද්‍යාල සිසුන්ගේ ඕනෑම සාධාරණ ගැටලුවකට සවන්දීමට රජය නිරන්තරයෙන් සූදානම් බවද ඇය මෙහිදී ප්‍රකාශ කළාය.​ශිෂ්‍ය සුබසාධනය උදෙසා වත්මන් රජය දක්වන මැදිහත්වීම පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, වසර ගණනාවකට පසු විශ්වවිද්‍යාල සිසුන්ගේ නේවාසික පහසුකම් සංවර්ධනය කිරීම වෙනුවෙන් මෙවර අයවැයෙන් විශේෂ ප්‍රතිපාදන වෙන් කර ඇති බවද සිහිපත් කළාය. රජයේ මෙම සාධනීය ප්‍රතිචාරයත් සමඟ අන්තරේ සිසුන් සිය දින කිහිපයක විරෝධතාව අවසන් කර මල්වාන පරිශ්‍රයෙන් සාමකාමීව පිටව ගොස් ඇත.

What's your reaction?

Related Posts

1 of 1,147

Leave A Reply

Your email address will not be published. Required fields are marked *