මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අතිශය විචිත්‍රවත් මෙන්ම අසිරිමත් අවසන් රන්දෝලි පෙරහැර අද (27) රාත්‍රී වීදි සංචාරය කිරීමට නියමිතය. දළදා මාලිගාවේ ගිහි භාරකරු වන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ප්‍රමුඛත්වයෙන් පැවැත්වෙන 21 වැනි පෙරහැර මෙය වන අතර, වැඩිම අලි ඇතුන් සංඛ්‍යාවක් සහ උඩරට නැටුම් කණ්ඩායම් ප්‍රමාණයක් සහභාගී වන අලංකාරම පෙරහැර ලෙසද මෙය සැලකේ. අද දිනයේ මංගල හස්තියා විසින් උඩුවියන් පාවඩ මත පෙරහැර කරඬුව වඩම්මවනු ලබයි.​පොලිස් ආරක්ෂාව මධ්‍යයේ අද සවස 6.43ට ආරම්භ වන මෙම අවසන් පෙරහැර දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී.එස්. සේනානායක වීදිය සහ රජ වීදිය ඔස්සේ කිලෝමීටර් 2කට අධික දුරක් ගමන් කර නැවත මාලිගාවට ගෙවැදීමට නියමිතව ඇත. මහජන ආරක්ෂාව සහ රථවාහන තදබදය අවම කිරීම සඳහා පොලිසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සහ පුළුල් රථවාහන සැලැස්මක් මේ වන විට ක්‍රියාත්මක කර තිබේ.​පෙරහැර කාලසීමාව තුළ නගරය තුළ ගමනාගමනය පහසු කිරීම පිණිස කටුගස්තොට, කොළඹ, තැන්නේකුඹුර සහ අම්පිටිය වැනි ප්‍රදේශවල සිට පැමිණෙන වාහන සඳහා විකල්ප මාර්ග හඳුන්වා දී ඇත. ඒ අනුව බර වාහන මහයියාව හරහා තිලක් රත්නායක මාවත ඔස්සේත්, සැහැල්ලු වාහන ඩී.එස්. සේනානායක වීදිය හා හරස් වීදිය හරහාත් ගමන් කළ හැකි වන පරිදි නගරයේ ප්‍රවේශ මාර්ග සංවිධානය කර තිබේ.​එමෙන්ම කොළඹ දෙසින් පැමිණෙන සහ පිටවන වාහන සඳහා විලියම් ගොපල්ලව මාවත මෙන්ම පරණ පේරාදෙණිය පාර ද දෙදිශාවටම භාවිතා කිරීමට පහසුකම් සලසා ඇත. පෙරහැර නැරඹීමට පැමිණෙන විශාල ජනකායකගේ ආරක්ෂාව සහ පහසුව වෙනුවෙන් මෙම රථවාහන නියාමන කටයුතු දැඩිව ක්‍රියාත්මක වන බැවින්, රියැදුරන් සහ මහජනතාව ඒ පිළිබඳව දැනුවත්ව කටයුතු කිරීම වැදගත් වේ.

What's your reaction?

Related Posts

1 of 1,303

Leave A Reply

Your email address will not be published. Required fields are marked *