ඓතිහාසික සෙංකඩගල ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහර අද (19) රාත්‍රී කාලයේදී උත්කර්ෂවත් අයුරින් වීදි සංචාරය කිරීමට නියමිතව තිබේ. සංස්කෘතික හා ආගමික වටිනාකම් රැසකින් යුත් මෙම මහා මංගල්‍යය නැරඹීම සඳහා දේශීය මෙන්ම විදේශීය බැතිමතුන් විශාල පිරිසක් මේ වන විටත් මහනුවර නගරයට පැමිණෙමින් සිටිති.නියමිත කාලසටහනට අනුව, අද රාත්‍රී 06.41 ට උතුරු දිශාභිමුඛව පෙරහර ගමන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන සිව් මහා දේවාල පෙරහර ද සමඟින් පිටත්වන මෙම පෙරහර, දළදා වීදිය සහ ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ ගමන් කර රජ වීදියෙන් ඉහළට විත් යළි ගෙවැදීමට නියමිතව ඇත.මේ අතර, ඊයේ රාත්‍රීයේදී පළමු කුඹල් පෙරහර ඉතා සාර්ථක ලෙස වීදි සංචාරය කළ අතර, එහිදී ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් ‘ඉන්දිරාජා’ හස්තියා විසින් සධාතුක කරඬුව ඉතා භක්තිමත්ව වැඩම කරවන ලදී.



























